Homeදේශීයමාස දෙකහමාරට වෙඩි 27 මරණ 22යි

මාස දෙකහමාරට වෙඩි 27 මරණ 22යි

වසරේ ගත වූ මාස දෙකහමාරක කාලය තුළදී දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී තිබේ.

එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 22 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් වර්තාවන්නේ දකුණු සහ බස්නාහිර පළාත්වලින් වේ. ජනවාරි මස 04 වැනිදා වැලිගම, කප්පරතොට වල්ලිවෙල ප්‍රදේශයේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 26 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්විණි.

එමෙන්ම ජනවාරි 07 වැනිදා ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්විණි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 36ක් සහ 20 වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකි.

අහුංගල්ල ප්‍රදේශයේදීද ජනවාරි 09 වැනිදා වෙඩි තැබීමක් සිදුවූ අතර සිද්ධියෙන් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. එමෙන්ම දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ ජනවාරි 13 වැනිදා කරවල ව්‍යාපාරිකයකු ඉලක්ක කරගනිමින් එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් අදාළ ව්‍යාපාරිකයාට තුවාල සිදුවිණි.

ජනවාරි 15 දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ජනවාරි 16 මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විණි. එදිනම කොහුවල පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබිණි.

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ ජනවාරි 19 වැනිදා වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්විණි. ජනවාරි 22 අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේදීද මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකු ඉලක්කකර වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

ජනවාරි 31 ගාල්ල හිනිදුම, පනංගල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් විය. මේ අතර පෙබරවාරි මස 07 මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර පෙබරවාරි 10 කොටහේන බෙනඩික් මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විණි.

එමෙන්ම පෙබරවාරි 19 මිද්දෙණිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් අනුර විදානගමගේ හෙවත් කජ්ජා, ඔහුගේ දියණිය සහ පුතා ජීවිතක්ෂයට පත්විණි.
එදිනම සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තාට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ද වෙඩි තබා ඝාතනය කෙරිණි. පෙබරවාරි 21 ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එදිනම කොටහේන ගල්පොත හන්දිය අසලදී සිදුකළ වෙඩි තැබීමකින්ද පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විණි.

පසුව එම වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. පෙබරවාරි 26 මිනුවන්ගොඩ, පත්තඬුවන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකළ අතර ඉන් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

මාර්තු 08 ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් යතුරුපැදි අමතර කොටස් අලෙවිසලක සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් එම පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

මාර්තු 13 ගාල්ල අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර එදිනම වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී මාර්තු 14 පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එමෙන්ම මාර්තු 17 මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවූ අතර එදිනම සවස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදියේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබිණි.

මාර්තු 22 දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments