Homeදේශීයදේශබන්දුගේ බිරිඳ පොලීසි යයි

දේශබන්දුගේ බිරිඳ පොලීසි යයි

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 18 වැනි දින එම නිවස පරීක්ෂා කළ බවද එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයීමේ කටයුතුවලට දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ නිසා බාධාවක් සිදුවීමට ඉඩ නොතබන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂවරිය අනුමත නිවාඩු ලබා දින 18 කට වැඩි කාලයක් රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් ඖෂධ සැපයුමට අදාළ ගිවිසුම් සම්බන්ධ ලිපිගොණු 300 කට වැඩි සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබීම නිසා ඖෂධ සැපයුමට බාධා ඇතිවීමේ හැකියාවක් පවතින බවට මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
ඖෂධ සැපයීමට බාධාවක් නොවන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කටයුතු කරගෙන යන බවද ඇමැතිවරයා පැවැසීය.

“ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරිනියක ලෙස වරෙක නිවාඩු ලබා ගත්තා. ඇය සේවයට වාර්තා කර යළිත් නිවාඩු ලබාගෙන තිබෙනවා. මේ තිබෙන ක්‍රමවේදයේ හැටියට ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. ඇයගේ නොපැමිණීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කටයුතුවලට බාධා නොවන පරිදි වැඩ බැලීමට නීති නිලධාරිනියක් යොදවා කටයුතු කරගෙන යනවා.ඒ නිසා ඖෂධ සැපයීමට දේශබන්දුගේ බිරිඳ නිසා බාධාවක් වීමට ඉඩ තබන්නේ නෑ’’ යැයිද ඇමැතිවරයා කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments