ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තීරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සඳහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩිපුර මුදලක් ( බිලියන 31.021ක්) ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදින වනවිට ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ඛනිජතෙල්වල දේශිය වෙළඳපොළ මිල ගණන්වල උච්චාවචනයන්ගේ බලපෑම් මත බෙදුම්කරුවන්ට හා සංස්ථාවට සිදුවන අහිතකර බලපෑම් බැහැර කිරිම සඳහා ඉහළ හා පහළ සිමාවන්ට යටත්ව ගෙවනුලබන කොමිස් මුදල් තිරණය කොට තිබුණි. ඒ 2019 වර්ෂයේ ජුලි 30 දිනැති අංක 05/1231 අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුවය.
එහෙත් මෙම අධ්‍යක්ෂක මණ්ඩල තීරණයට පටහැනිව ඉහළ සිමාවන් නොසලකා බෙදුම්කරුවන්ට අලෙවි නියෝජිත කොමිස් මුදල් ගෙවා තිබුණි.
2023 වර්ෂයේ දී වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 14,874කි. එනම් දළ වශයෙන් රුපියල් බිලියන 14. 9කි. මෙම කොමිස් මුදල විකුණුම් හා බෙදා හැරීමේ වියදම් යටතේ දක්වා තිබුණි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.