2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ආදායම් සහ ප්‍රදානයන් 33.1%කින් ඉහළ ගොස් ඇති බවත් 2024 වසරේ අපේක්ෂිත අගයට සාපේක්ෂව මෙය 99.1%ක ඉතිහාසයේ ඉහළම අගයක් සහිත ඉලක්ක ළගා කර ගැනීමක් (achievement) බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළහ.
2023 සහ 2024 වසරවල රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මේ බව පවසා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී පැවසුවේ VAT අගය ඉහළ දැමීම සහ VAT සහන ලබාදී තිබූ ප්‍රධාන අයිතම 137න් 95කම බදු සහන ඉවත් කිරීම මෙම තත්ත්වයට හේතුවූ බවයි. එසේම පෙර වසරවලට සාපේක්ෂව ඉහළ මූල්‍ය විනයක් පවත්වා ගැනීමට හැකිවීම මෙම ජයග්‍රහනයට හේතුවූ බවත් ඉදිරියේදී තවදුරටත් එය වර්ධනය කළ හැකි බවත් ඔවුහු මෙහිදී සඳහන් කළහ.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ඇති නෛතික ප්‍රතිපාදන තුළින් ඇති කළ මූල්‍ය විනය මේ සඳහා හේතුවූ බවයි. එසේම නෛතික ප්‍රතිපාදන තුළින් ඇති කළ මූල්‍ය විනය දිගුකාලීනව පවත්වා ගැනීම ආර්ථික ජයග්‍රහණ සඳහා ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.