අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත (pending) නඩු 5785 ද, අභියාචනාධිකරණයේ නඩු 4572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6146ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3ක්, මහාධිකරණයේ නඩු 27,324ක්, දිසා අධිකරණයේ 262,665ක්, ළමා මහේස්ත්‍රාත්ධිකරණයේ නඩු 1260ක් යනාදී වශයෙන්, සමස්ත ලෙස වීසඳීමට නියමිත (pending) නඩු සංඛ්‍යාව 1, 131,818ක් වන බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
මේ පිළිබඳව සාකච්ඡා වුයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් පවත්නා බව මන්ත්‍රීවරු පැවසීය. දිවයින පුරා පොලිස් කොට්ඨාස මගින් ලැබෙන්නා වූ අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුයුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බව පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. තව ද, පවරා ඇති නඩු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රජයේ අධි නීතිඥවරයෙක් වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දකින් යුක්ත විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන සාධකයක් බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ප්‍රමාදයන් පිළිබඳව කතිකාව කලක සිට පවතින බවත්, දෙපාර්තමේන්තුව සතු නීති නිලධාරීන් පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කරුණු දක්වමින් පැවසුවේය. තව ද, අවු. 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජනරාල්වරු 6 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යන බව පැවසු ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට අවධාරණය කළේය.