Homeදේශීයමැණික් ආදායම ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට සූදානමක්

මැණික් ආදායම ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට සූදානමක්

ලංකාවේ සමස්ත මැණික් ආදායම ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට වැඩපිළිවෙළක් සකස්කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහන ක්‍රියාත්මක කරයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනට දහසකට ආසන්න මැණික් හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු අනෙකුත් කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් රැසක් සමග සම්බන්ධ වී කර්මාන්ත පවත්වාගෙන යාමේදී ඔවුන්ට ඇති වී තිබූ විවිධ ගැටලු රැසකට එකම වේදිකාවක් මතදී අමාත්‍යවරුන් ප්‍රමුඛ වගකිවයුතු නිලධාරීන් වෙතින් විසඳුම් ලබා ගන්නා ලදී.

මෙම වැඩසටහනේදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමේ ප්‍රායෝගික යාන්ත්‍රණයක් ලෙස සෑම දිස්ත්‍රික්කයක් සඳහාම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාවක් පිහිටුවමට තීරණය විය.
එසේම මීට පෙර රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව පොදු අරමුණක් කරා කටයුතු කර නොතිබීම නිසා කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් රාජ්‍ය ආයතන මඟහැර කටයුතු කර ඇති අතර එම තත්ත්වය මත රාජ්‍ය සහාය නොමැතිව කර්මාන්ත පවත්වාගෙන ගිය ව්‍යවසායකයින් විශාල පිරිසක් අතරමඟදී කඩා වැටීමට සිදුවිය. ප්‍රායෝගික යාන්ත්‍රණයක් ලෙස රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව පොදු අරමුණක් කරා මෙහෙයවීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ සුනීතා, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අනිකුත් නිලධාරීන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියාරච්චි, කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments