ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණි.
මේ පිළිබඳ තීරණය කෙරුණේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය 18 වැනිදාද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව රැස්වූ අතර එහිදී අක්‍රමිකතා රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය. මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරුන්ද කෝප් කමිටුවට කැඳවා මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට තීරණය කෙරුණු අතර හිටපු සභාපතිවරුන් සහ අවශ්‍ය නිලධාරීන් නැවත කැඳවා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම සිදු විය.
මෙම සාකච්ඡාවේදීද මූල්‍යමය අක්‍රමිකතා සහ අක්‍රමවත් ක්‍රියාවලීන් රැසක් අනාවරණය වූ අතර එහිදී ජාතික තරුණසේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට කෝප් කමිටු සභාපතිවරයා තීරණය කළේය. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්‍ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් මෙම විශේෂ කෝප් අනු කමිටුව පත් කරන ලදි. ඒ අනුව ඉදිරියේදී අනු කමිටුව රැස්වීමේ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකර සකස් කරන වාර්තාවක් කෝප් කමිටුවට ලබා දීමට නියමිතය.
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දීම සම්බන්ධයෙන් පෙර දින සාකච්ඡාවේදී තහවුරු වූ බැවින් මේ සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා කමිටුවට කැඳවා විමසා සිටීම සිදු විය. මෙහිදී ඔහු පැවසුවේ මෙම ගෙවීම් කළේ මාස 3 කට 4 කට පෙර පැවති වැඩසටහන් වෙනුවෙන් බවයි. නිලධාරීන් තමා බලපෑම් කළේ යැයි පැවසීම් සම්බන්ධයෙන් තමා පුදුම වන බවද පැවසීය. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ අතර මෙහිදීද නිලධාරීන් සඳහන් කළේ අදාළ දින සවස 2 සිට 5 කාලය ඇතුළත මෙම චෙක්පත් සහතික කර දෙන ලෙස හිටපු සභාපතිවරයා බලපෑම් කළ බවයි. මේ අනුව කමිටුව පෙන්වා දුන්නේ හිටපු සභාපතිවරයා මෙහිදී බලපෑම් කළ බව තහවුරු වන බවයි.
එසේම මෙහිදී තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පත් කොට ඇත්තේද එම පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය අවම සුදුසුකම් වත් නොසලකමින් බව අනාවරණය විය. නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පත් කිරීම සඳහා උපාධියක් පැවතීම අත්‍යවශ්‍ය බවයි. නමුත් අදාළ පෞද්ගලික ලේකම්වරයාගෙන් එම සුදුසුකම් ඉල්ලා සිටි විට ඔහු ඒවා තහවුරු කිරීමට අසමත් වූ බවත් එබැවින් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බවත් මෙහිදී අනාවරණය විය. අදාළ පෞද්ගලික ලේකම්වරයාද මෙම ස්ථානයට පැමිණ සිටි අතර ඔහුගෙන් කමිටුව මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර එම අවධියේදී තමන් උපාධිය හදාරමින් සිටි බවත් එය සම්පූර්ණ කොට නොතිබුණු බවත් හෙතෙම පැවසීය. එසේම මෙම තනතුරෙන් ඉවත් වී ඔහු ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වී සේවය කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද පළාත් අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් නිලධාරීන්ද පෙන්වා දුන්නේ මෙම පුද්ගලයාද විවිධ කටයුතු වලදී නිලධාරීන්ට බලපෑම් කළ බවයි.
තවද මෙහිදී තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය පිළිබඳවද සාකච්ඡා කෙරුණි. මෙහිදීද නිවැරදි ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් මෙම වැඩසටහනද ක්‍රියාත්මක වී ඇති බව කමිටුවට අනාවරණය වූ අතර කෝප් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ තරුණසේවා සභාවේ සභාපතිවරයාගේ උවමනාව මත මෙම සියලු කටයුතු සිදු වී ඇති බව පැහැදිලි වන බවයි. එසේම මෙහිදී සැපයුම්කරුවන් සම්බන්ධකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුව ප්‍රශ්න කළ අතර හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ තමන්ට ලිපි විශාල ප්‍රමාණයක් යොමුව බවත් ඒවා තමන් අදාළ අංශ වෙත යොමු කරන බවත්ය. එසේම මෙම වැඩසටහන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් වෙන් වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නමුත් මෙම ක්‍රියාවලිය අවිධිමත් ආකාරයෙන් සිදු වී ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය.
එසේම ජනාධිපතිවරණ සමයේ තරුණ සේවා සභාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කොට ඇති බව පැහැදිලි වන බව කාරක සභාව තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාට පැවසීය. මෙහිදී හිටපු සභාපතිවරයා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් පෙන්වා දුන් උපදෙස් අනුව එතෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල නැවැත්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රීඩාව පමණක් අරමුණු කරගත් ස්මාර්ට් ෆියෙස්ටා වැඩසටහන ක්‍රියාත්ම කළ බවයි. නමුත් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ නම වෙනස් කරමින් පෙර වැඩසටහනම ක්‍රියාත්මක කොට ඇති බවයි. එසේම මෙම ස්මාර්ට් ෆියෙස්ටා වැඩසටහන වෙනුවෙන් සිදු කළ සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 43ක් වියදම් කොට ඇති බවත් එම වීඩියෝව තරුණ සේවා සභාවට නොලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම වීඩියෝව තරුණ සේවා සභාවට ලබා දී ඇති බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සොයා බලන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
මීට අමතරව ජාතික තුරුණු පොසොන් කලාපය සහ යාපනය සහ අම්පාර තරුණ හමුව වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු විය. විශේෂයෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් ඩබ්. ඩී. වීරසිංහ පදනම සම්බන්ධවීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. එසේම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීකරණය කිරීම සහ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව 2021 වර්ෂයේ රැස්වූ කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී දීර්ඝ වශයෙන් මෙම කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා සිය තනතුරේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව කෝප් කාරක සභාවේ සභාපතිවරයා පැවසූ අතර රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරමින් තම ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස තමන් සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.