ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරු මහරගම පදිංචි සමිදු දිල්ශාන් පියුමංග කදනාරච්චි නැමැත්තෙකු බවත්, ඔහු ඝාතන සිද්ධි කිහිපයකට සම්බන්ධ බවත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළායෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුවද අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කරන බවයි.
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා ඊයේ පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
වෙඩි තැබීම කළ සැකකරු, පුත්තලම පාලවියේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි.
මේ අතර සිද්ධියට ආධාර අනුබල දුන් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලික පුහුණුවෙන් අනතුරුව යුද හමුදාවෙන් පළාගිය අයෙකු බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් ඔහු කමාන්ඩෝ සෙබළෙකු හෝ බුද්ධි නිලධාරියෙකු නොවන බවද සඳහන්ය.
යුද හමුදා පුහුණුව අතරතුර පළාගිය අදාළ සෙබලා පසුව පොදුසමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.
ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.
එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නමින්ද පෙනී සිට ඇත.
ඊයේ දිනයේ මාධ්‍යය විසින් වාර්තා වුයේ මෙසේය.
අලුත්කඩේ අධිකරනයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.
වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු 34ක් වූ මොහු මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකි.