රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දියත් කරන බව රජය නිවේදනය කර තිබේ.
එමගින්, අපේක්ෂා කෙරෙන්නේ, ‘ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම’ය.
මෙම ගෙවීමේ පහසුකම හඳුන්වා දෙමින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ,පසුගිය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසිනි.
‘GovPay’ යනු කුමක් ද?
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙය ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ලංකා පේ (Lanka Pay) පෞද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ක්‍රියාන්විතයකි.
ඒ හරහා මූලික පියවර වශයෙන් රජයේ ආයතන 16ක් සඳහා ගෙවීම් කිරීමේදී ‘GovPay’ ක්‍රමවේදය භාවිත කිරීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යංශය පවසයි.
එම ආයතන මෙසේ ය.
- ආයූර්වේද දෙපාර්තමේන්තුව
- තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තුව
- ගම්පහ නගර සභාව
- යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව
- රඹුක්කන ප්‍රාදේශීය සභාව
- රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පරමාණුක බලශක්ති අධිකාරිය
- වරාය අධිකාරිය
- මිනින්දෝරු දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
- තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- මොරටුව විශ්වවිද්‍යාලය
- වෘත්තීය පුහුණු අධිකාරිය
ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය පවසන පරිදි GovPay වැඩසටහන මේ වන විට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු 9ක් සමග ඒකාබද්ධ වී සිටී.
- හැටන් නැෂනල් බැංකුව
- පෑන් ඒෂියා බැංකුව
- සම්පත් බැංකුව
- සෙලාන් බැංකුව
- DFCC බැංකුව
- කොමර්ෂල් බැංකුව
- ලංකා බැංකුව
- මහජන බැංකුව
- NDB බැංකුව
‘GovPay’ ක්‍රමවේදය ඇරඹීමට හේතුව කුමක් ද?
මුදල් භාවිතයෙන් ගනුදෙනු කිරීම මගින් වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ආසන්න වශයෙන් 1.5% ක් වැය වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
මුදල් ගෙවීම් හරහා වංචා, දූෂණය සහ ගෙවීම් ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාව වැඩි කිරීමට දායක වන බව ද ඔහු පෙන්වා දෙයි. මෙම ගැටලු විසඳීම සඳහා, රජයේ ආයතන වෙත කෙරෙන සියලුම ගෙවීම් කඩිනමින් ඩිජිටල්කරණයට ලක් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ අතර, මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට මූලිකව ක්‍රියා කළ පසුගිය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය කනක හේරත් පැවසුවේ, මුදල් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන පිරිවැය, මූල්‍ය වංචා සහ අකාර්යක්ෂමතාව ආදී කරුණු සැලකිල්ලට ගෙන මෙම ක්‍රමය හඳුන්වා දීමට පියවර ගත් බව ය.
“නියමු ව්‍යාපෘතියක් විදිහට අපි මේක මුලින් ම 2024 අප්‍රේල් මාසයේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් තමයි ආරම්භ කළේ. ඒ අනුව, ගිය අවුරුද්දේ ඒ විශ්වවිද්‍යාලයේ ඇතැම් ගෙවීම් කටයුතු ‘GovPay’ ක්‍රමයෙන් තමයි සිද්ධ වුණේ. මුදල් ගෙවීම්වලදී සිදුවන දූෂණ, වංචා, අකාර්යක්ෂමතාව වගේ කරුණු නතර කරන එකයි මේ වැඩසටහනේ අරමුණ වුණේ,” හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.