Homeදේශීයවිපක්‍ෂ නායකතුමාගේ නිදහස් දින පණිවුඩය

විපක්‍ෂ නායකතුමාගේ නිදහස් දින පණිවුඩය

77 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ අප නිදහස දිනා ගැනීම හා ඉන් අනතුරුව අපගේ මාතෘභූමිය පසු කළ කාල පරිච්ඡේදය යළිත් සිහිපත් කිරීම මේ මොහොතේ වැදගත් වේ. නිදහස ලබාගන්නා අවස්ථාවේ අප රටක් ලෙස දුප්පත්කමින්, සෞඛ්‍ය අතින් මෙන්ම සාක්ෂරතාව සහ දැනුම අතින් ඉතා පහළ මට්ටමක පසුවිය.

එහෙත් අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ස්වාධීන රටක් ලෙස නැගී සිටීමේ ප්‍රමුඛ අරමුණ සමඟ ඒවායේද විශාල පිබිදීමක් ඇති විය.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ රට පුරා පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කෙරුණු අතර ඒ හේතුවෙන් 1948 වසරේ 35%ක්ව පැවැති සාක්ෂරතාව අද වනවිට 95%ක් දක්වා වර්ධනය වී තිබීම අප ලැබූ ජයග්‍රහණයක් වේ. එසේම 1948දී අවුරුදු 45ක් වූ ආයු අපේක්ෂාව අද වනවිට අවුරුදු 75 ඉක්මවා යාම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාර මෙන්ම කඩිනම් මහවැලිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති මඟින් අද වන විට හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න කිලෝ ග්‍රෑම් 350 සිට කිලෝ ග්‍රෑම් 3500 දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකිව තිබේ. ඊට අමතරව ඉඩමක් නොමැති ජනතාවට ඉඩමක අයිතිය ලබාදීමත්, ජල විදුලි බලාගාර රැසක් ආරම්භ කිරීම හරහා බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වූ පුනරුදයත් රටක් ලෙස ශ්‍රී ලංකාව නව ලෝකයට විවිර කිරීමට හේතුවක් විය. එමෙන්ම දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළ ද පුළුල් වූ අතර 1994 වනවිට මානව සංවර්ධන දශකයේ අංක 1 බවට පත්වීමටද අපට හැකිවිය.

1994 වන විට ශ්‍රී ලංකාව දකුණු කොරියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල් සමඟ සම තත්ත්වයක පැවතියත්, එය වෙනස් වීමට බලපෑ දේශපාලනික මතවාද මොනවාද යන්න අප මේ මොහොතේ ගැඹුරින් විශ්ලේෂණ කළ යුතුය. බලය ලබාගැනීමේ පටු අරමුණු හේතුවෙන්, රට ලැබූ ජයග්‍රහණ යටපත් කළ දේශපාලන මිත්‍යාවන් නිසා අද රට මුහුණපා ඇති බරපතළ අභියෝග විචාරශීලීව විමසා බැලීම අප ලැබූ නිදහස තවදුරටත් අර්ථවත් කිරීමට හේතු වනු ඇත. පැරණි ප්‍රශ්නවලට, පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීමයි. ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී, ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට මේ නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගනිමු.

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments