ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 වසරේ සිට 2026-03-31 දක්වා කාලසීමාව තුළ නඩු ප්‍රමාණය 105ක් වෙනුවෙන් නීතිඥවරු 104 දෙනෙකුගේ සේවය ලබාගෙන ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 116 කට අධික මුදලක් වැය කර ඇත.
එහිදී එම ආයතනය දිස්ත්‍රික් අධිකරණ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විභාග වූ නීති කෘත්‍ය වෙනුවෙන් ජනාධිපති නීතිඥයන් සහ වෙනත් නීතිඥයන්ගේ නීති සහාය ලබා ගෙන ඇති අතර ඊට වැය කර ඇති මුළු මුදල එකසිය දහසය කෝටි හතලිස් හය ලක්ෂ හත්දහස් හාරසීය හැට අටයි ශත හැත්තෑපහකි.
නීතීඥයන් වෙනුවෙන් මෙන්ම නීතී උපදේශනය වෙනුවෙන් මෙලෙස ක්‍රිකට් ආයතනය අදාල මුදල වැය කර ඇති අතර එහිදී එම ආයතනය වැඩිම මුදලක් වැය කර ඇත්තේ ජනාධිපති නීතිඥවරුන් වන කුවේර ද සොයිසා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන්ගේ සේවය ලබා ගැනීමටය.
ඊට අමතරව නීතිඥ එම්.ජේ.එස්. ෆොන්සේකා, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, නීතීඥවරුන් වන පසිඳු බණ්ඩාර, ජීවන්ත ලක්මාල්, සෂානි ද සිල්වා අසේල බී රැකව,චරක ජයරත්න, නිරාන් ඇන්කටෙල් යන මහත්ම මහත්මීන්ගෙන් සේවය ලබා ගැනීමට අධික මුදලක් වැය කර ඇත.
විපක්ෂ මන්ත්‍රීවරයකු විසින් අසන ලද වාචික පිළිතුරු අපේක්‍ෂා නොකරන ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරු සපයමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අදාල තොරතුරු පාර්ලිමේන්තුවෙහි සභාගත කර තිබේ.



