ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සහ වරායන් ඔස්සේ සිදුවිය හැකි නීතිවිරෝධී න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය ජාවාරම් හඳුනාගෙන ඒවා මැඩපැවැත්වීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීම සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කළ දින පහක විශේෂ තාක්ෂණික වැඩමුළුවක් හා ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගියදා කොළඹදී සාර්ථකව අවසන් කෙරිණි. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, දේශීය නීති රාමුවට ගැළපෙන ස්ථාවර මෙහෙයුම් පටිපාටියක් (SOPs) ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම පුහුණු වැඩසටහන නිමාවට පත්කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) පෙන්වා දුන්නේ, නීතිවිරෝධී න්‍යෂ්ටික ද්‍රව්‍ය වැරදි පාර්ශ්වයන් අතට පත්වීම කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බරපතළ ගෝලීය තර්ජනයක් බවයි. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු තාක්ෂණික මෙවලම් හා හැකියාවන් ඉහළ නැංවීම මඟින් මෙරට වරාය හෝ මුහුදු සීමාව හරහා මෙවැනි අනතුරුදායක ද්‍රව්‍ය ගමන් කිරීමට පෙර ඒවා හඳුනාගෙන වැළැක්වීමට හැකියාව ලැබෙන බවත්, එමඟින් ඉන්දීය සාගරයේ ප්‍රධාන වෙළෙඳ නාවික මාර්ගවල සුරක්ෂිතතාව තහවුරු වන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළෙඳ නැව් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු එක්ව සිටියහ. මෙම ආයතන අතර දත්ත හුවමාරුව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය පුළුල් කිරීම හරහා ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම හදිසි නීතිවිරෝධී නාවික ප්‍රවාහනයක් කඩිනමින් පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.
ලෝකයේ නැගෙනහිර සහ බටහිර යා කෙරෙන ප්‍රධානතම ජාත්‍යන්තර නාවික වෙළෙඳ මාර්ගය ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී ඇති බැවින්ද, වසරකට බහාලුම් මිලියන ගණනක් හුවමාරු වන කොළඹ වරාය වැනි කේන්ද්‍රස්ථානයකදී මෙවැනි විකිරණශීලී සංවේදී ද්‍රව්‍ය හඳුනාගැනීමේ තාක්ෂණය අතිශය තීරණාත්මක සාධකයක් වන බැවින්ද මෙම තාක්ෂණික හවුල්කාරිත්වය කලාපීය ආරක්ෂාවට ප්‍රබල පිටිවහලක් වනු ඇත.



