සවුදි අරාබියේදී බරපතල නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නීතිමය වශයෙන් කඩිනම් සහ ප්‍රබල මැදිහත්වීමක් සිදු කිරීමේ කාලීන අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙන්වා දෙයි. රටක ස්වෛරීභාවයට හා නීතියට ගරු කරන අතරම, තම පුරවැසියකු වෙනුවෙන් කළ හැකි උපරිම නීතිමය හා මානුෂීය පියවර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතාව විය යුතු බව ඒ මහතා අවධාරණය කරයි.
නාර්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචි අනෝජන් සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් අත්අඩංගුවට පත්විය. පසුගිය ජූලි 15 වනදා සවුදි අධිකරණයකින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ රියාල් මිලියන තුනක දඩයක් නියම කෙරුණු අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇත.
අදාළ මතභේදාත්මක ප්‍රකාශය පළ කර සුළු වේලාවකින් එය ඉවත් කර අනෝජන් විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව වාර්තා වේ. එම කරුණ පදනම් කරගනිමින්, පසුතැවිලි වීම, සමාව දීම සහ දයාව පෙරදැරි කරගත් ඉස්ලාමීය මූලධර්මයන්ට අනුකූලව සවුදි බලධාරීන්ගෙන් මානුෂීය සහනයක් හෝ රාජකීය සමාවක් ඉල්ලා සිටීමට ශක්තිමත් පසුබිමක් නිර්මාණය වන බව ෆයිසර් මුස්තාපා සඳහන් කරයි.



