මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඩෙංගු රාජකාරි හැර සියලු දත්ත වාර්තාකිරීමේ රාජකාරිවලින් ඉවත්වී දැඩි අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදු කරන දූෂණ සහ වංචා අනාවරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත පසුගියදා ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මීගස්දෙණිය සෞඛ්‍ය බලධාරින් විසින් ස්ථාන මාරුකිරීමට විරුද්ධව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 19 වැනිදා ආරම්භ කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසදුම් ලැබි නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය අනුව ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරිපාලනය වෙත ලබාදෙන සියලු දත්ත වාර්තා සැපයීම අත්හිටුවා තිබේ.
මෙම තත්ත්වය මත සියලු ආකාරයේ දත්ත වාර්තා යාවත්කාලීන කිරීමද අත්හිටුවා ඇති බවත් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පවත්වන කාලය තුළ ලැබෙන දත්ත කිසිදිනක යළි යාවත්කාලීන කිරිමක් සිදු නොකරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදු කරන දූෂණ සහ වංචා අනාවරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මීගස්දෙණිය සෞඛ්‍ය බලධාරින් විසින් පරිපාලන රීතිවලට පටහැනිව මෙන්ම සදාචාර විරෝධි ලෙස ස්ථාන මාරුකර ඇති බව එම සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.
ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නිරත වෛද්‍යවරුන් රාජකාරි වේලාව තුළදී පෞද්ගලික සේවයේ යෙදීම, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැමිණීමේ ලේඛනය අවභාවිත කිරීම සහ ගුවන්යානාවල විෂබීජ නාශක සඳහා යොදන රසායන ද්‍රව්‍ය තොගයක් නැවත භාර නොදීම සම්බන්ධව මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දී ඇත.
අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අනාවරණය කළ එම දූෂණ වංචාව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුනොකර එම නිලධාරියා ස්ථාන මාරුකිරීමකට ලක්කිරීම අසාධාරණ බවත් එය රජයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.



