‘ජීවිතයට බිඳක්’ විශේෂ අභිප්‍රේරණ වැඩසටහන පසුගියදා මත්තේගොඩ සණස සමිති ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
මත්තේගොඩ වෙළඳ සංගමයේ හිටපු සභාපති චමින්ද බඳවක ආරච්චි මහතාගේ යෝජනාවකට අනුව මත්තේගොඩ වෙළඳ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මත්තේගොඩ වෙළඳ සංගමයේ වත්මන් සභාපති, ලේකම්, කාරක සභිකයින්, සාමාජිකයින් ඇතුළු මත්තේගොඩ ප්‍රදේශයේ ජනතාව 200කට අධික පිරිසක් සහභාගි වූහ.



ජීවිතය පිළිබඳ නව දෘෂ්ටිකෝණයක් ඇති කිරීම, ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම, පෞද්ගලික සංවර්ධනය හා මානසික ශක්තිමත්භාවය ඉහළ නැංවීම මෙන්ම සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය අභිප්‍රේරණය ලබාදීම මෙන්ම, විශේෂයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන් සහ භාරකරුවන් ක්‍රියා කළ යුතු ආකාරය සහ ඔවුන්ට ඇති වගකීම සම්බන්ධයන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණු විය.
වැඩසටහනේ සම්පත් දායකත්වය United Human Rights Organization ආයතනයේ විධායක අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මානව සම්පත් වෘත්තිකවරියක සහ අභිප්‍රේරණ පුහුණුකාරිනියක වන ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය විසින් සිදු කරන ලදී.
ඇය විසින් සහභාගි වූවන්ගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ධනාත්මක චින්තනය, අභිප්‍රේරණය සහ මානසික ශක්තියේ වැදගත්කම පිළිබඳව දැනුම හා ප්‍රායෝගික මඟපෙන්වීම් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගය නියෝජනය කරන හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂේන් ෆනෑන්ඩු මහතා, මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා, මත්තේගොඩ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වීරසිංහ මහතා, මත්තේගොඩ සණස සමිතියේ සභාපති ඩික්සන් ගාමිණී මහතා සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.



