Homeදේශීයකොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය වර්ධනය වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය වර්ධනය වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය ඉකුත් වසරේ (2025) පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ (2026) පළමු භාගයේදී සියයට 5.9 ක (පහයි දශම නමය) මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශක අගය 271.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දර්ශකයේ අර්ධ වාර්ෂික වැඩිවීම සියයට 3.7ක් (තුනයි දශම හත) වේ.

මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ අනු දර්ශකයන් වන නේවාසික, කාර්මික සහ වාණිජ යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනමද ඉහළ ගොස් තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන ඉඩම් තක්සේරු දර්ශකයට අනුව, ඉකුත් වසරේ (2025) පළමු භාගයේදී දර්ශක අගය වූයේ 256.4කි. ඉකුත් වසරේ දෙවන භාගයේදී එම අගය 261.9ක් දක්වා ඉහළ ගියේය. නේවාසික ඉඩම් අනු දර්ශක අගය ඉකුත් වසරේ (2025) පළමු භාගයේදී සියයට 14.4කද, දෙවන භාගයේදී සියයට 12.4කද වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළේය. එමෙන්ම, වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය ඉකුත් වසරේ පළමු භාගයේදී සියයට 11.5 කද, දෙවන භාගයේදී සියයට 11.3කද වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළ අතර, කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය ඉකුත් වසරේ (2025) පළමු භාගයේදී සියයට 8.4කද, දෙවන භාගයේදී සියයට 8කද වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය සකස් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් භාවිත කරන්නේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ඇතුළත් වන පරිදි මෙම දර්ශකයේ භූගෝලීය ආවරණය පුළුල් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments