ශ්‍රී ලංකාවේ නවතම ශ්‍රම බලකා සහ දිළිඳුකම පිළිබඳ දත්ත වාර්තා සලකා බැලීමේදී, මෙරට රැකියා නියුක්තිය සහ ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය අතර පවතින්නේ විශාල පරතරයක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) නවතම වාර්තා පෙන්වා දෙයි.
ලංකාවේ නිල විරැකියා අනුපාතය සියයට 3.7ක් වැනි ඉතා අඩු මට්ටමක පැවතුණ ද, එදිනෙදා ජීවත් වීම සඳහා පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වන අවම මාසික වියදම හෙවත් නිල දිළිඳුකමේ සීමාව මේ වන විට (2026 මැයි) රුපියල් 17,315 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය වසරට වඩා රුපියල් 900ක වැඩිවීමකි.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විරැකියා අනුපාතය අඩු මට්ටමක පැවතීමෙන් පමණක් ජනතාවගේ ආර්ථික ස්ථාවරත්වය මැනිය නොහැකි බවයි. රැකියා ඇතැයි පැවසුවද බහුතරයක් නිරත වන්නේ ස්ථිර ආදායමක් හෝ සමාජ ආරක්ෂණයක් නොමැති අර්ධ රැකියා සහ අවිධිමත් ස්වයං රැකියාවලයි.
මෙරට සමස්ත ශ්‍රම බලකාය මිලියන 8.41ක් වන විට, කිසිදු ආර්ථික වැඩකටයුත්තකට දායක නොවන ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.67ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම අක්‍රීය පිරිසෙන් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වීම විශේෂත්වයකි.
රටේ පොදු ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ද සියයට 49.7 සිට සියයට 49.2 දක්වා පහළ බැස තිබේ. මෙයින් පෙනී යන්නේ ජීවන වියදම ඉහළ ගියද, ක්‍රියාකාරීව ආදායම් උපයන මාර්ගවලට යොමුවන පිරිස සීමිත වී ඇති බවයි.
වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ විරැකියාව සියයට 16.1ක් වැනි ඉහළ අගයක පවතින අතර, තරුණ කාන්තාවන් අතර එය පහෙන් එකක් (සියයට 20කට ආසන්න) තරම් බරපතළ මට්ටමක පවතී.
අපොස උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් අතර විරැකියා අනුපාතය සියයට 6.5කි. එහිදී ද උගත් කාන්තාවන්ගේ විරැකියාව සියයට 9.7ක් වන අතර, එය පිරිමි පාර්ශවය මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයකි. අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා වෙළඳපොළක් නොමැති වීම මීට ප්‍රධාන හේතුවයි.
නාගරික ජීවන වියදම අධික වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිල දිළිඳුකමේ සීමාව පුද්ගලයෙකුට මසකට රුපියල් 18,675ක් ලෙස ඉහළම අගය වාර්තා කරයි. මොනරාගල, මන්නාරම සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල මෙම සීමාව මීට වඩා අඩු වුවද, එම අගයන්ගෙන් ද නිරූපණය වන්නේ යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය අවම මට්ටම පමණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම දත්ත මඟින් ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවේ තබා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ, ලංකාවේ වත්මන් රැකියා නියුක්තිය හරහා පවුලක මූලික පැවැත්ම සහ වේගයෙන් ඉහළ යන ජීවන වියදම පියවා ගැනීමට ජනතාවට සැබවින්ම හැකියාව ලැබී තිබේද යන්නයි.



