ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියගේ පණිවිඩය
සෑම වසරකම ජූනි මස 12 වනදාට යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියද සෑම වසරකම විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ පවසයි.
මෙම වසරේ ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ “ළමා ශ්‍රමයෙන් තොර රටක්, දරුවන්ට යහපත් හෙටක්” යන්නයි. රටේ පවතින තත්වය හමුවේ ළමයින් වැඩි වශයෙන් ළමා ශ්‍රමිකයින් ලෙස ඉදිරියේදී යොදවා ගැනීමේ අවධානම් තත්වයක් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි. 2025 වර්ෂයේ ළමා ශ්‍රමිකත්වය පිළිබඳ පැමිණිලි 173 ක්ද , ළමයින් ලිංගික කටයුතු සඳහා/සංසර්ගය සඳහා කුට්ටානියකු වශයෙන් යොදවාගැනීම යටතේ පැමිණිලි 03 ක්ද, ළමා වෙළදාම පිළිබඳ පැමිණිළි 53 ක් ද, ළමුන් සිඟමනේ යෙදවීම පිළිබඳ පැමිණිලි 287 ක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත.
වයස අවුරුදු 16 ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු බවත් ශ්‍රමය වෙනුවෙන් යොදා නොගතයුතු බවත් අවධාරණය කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ILO) අනුව, ළමා ශ්‍රමය යනු ළමයින්ගේ ළමා කාලය, ඔවුන්ගේ විභවය සහ ඔවුන්ගේ ගෞරවය අහිමි කරන වැඩ වන අතර එය ශාරීරික හා මානසික සංවර්ධනයට හානිකර වේ.වයස අවුරුදු 16 ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතුය. වයස අවුරුදු 16 – 18 ත් අතර ළමයින්ගේ ජිවිතයට,සෞඛ්‍යයට,අධ්‍යාපනයට,සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකි අතර, මෙම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන් වල යෙදවිය නොහැකිය. ළමයින් මෙහෙකාර සේවයට යොදවාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කළ හැකිය. ඒ අනුව සියලුම දෙමාපියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සමාජයේ සියලු පුරවැසියන් මේ පිළිබඳ දැනුවත්භාවය ලබාගත යුතුය.
ළමා මෙහෙකාර සේවය, ළමුන් වීදි වෙළදාමේ යෙදවිම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණිම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදකි. එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදකි. ළමයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට අන්තරායකර රැකියා 71 ක් මේ වන විට හදුනාගෙන හඳුනාගෙන ඇත.
එසේම ළමයින් පාසල් හැරයන තත්වයන් උද්ගතවීම, දෙමාපියන් හෝ භාරකරුවන් විසින් අඛණ්ඩව පාසල් නොයැවීම මෙන්ම ළමා ශ්‍රමිකත්වය ඉහල යාමට හැකියාව ඇති බැවින් මෙම තත්වයන් අවම කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අදාල සියලු පාර්ශවයන්ගේ අවධානයට ලක්කර තිබේ. තවද සෑම රාජ්‍ය, පෞද්ගලික ආයතනයන් මෙන්ම වැඩිහිටි ඔබ ළමයින් පිළිබඳව අවධානය යොමුකර ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමට අවශ්‍ය සහයෝගය දෙනු ඇති බවට විශ්වාස කරයි.
ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීම පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
එමෙන්ම පාසල් ළමා ආරක්ෂක කමිටු වැඩසටහන, පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන මගින් ළමා ශ්‍රමිකත්වය පිළිබඳව පාසල් ළමයින් සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.
එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් විසින් සියලුම විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් මෙම වර්ෂය පුරාවට ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇත.
එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ළමයින් සේවයේ යොදවන සේවායෝජකයන්ට විරුද්ධව විමර්ශන කටයුතු සිදු කිරිම, එම කටයුතු නියාමනය, ළමයින් සේවයේ යෙදවීම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීම ඇතුළු නෛතික ක්‍රියාවන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලැබේ.
මෙවැනි ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඔබ දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය ඉල්ලා සිටියි.



