සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ප්‍රතික්ෂේප කරමින් අගමැතිනි හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසුවේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමෙන් පසුව පමණක් මැතිවරණය පවත්වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පළාත් සභා තුළ ප්‍රමාණවත් කාන්තා සහ තරුණ නියෝජනයක් සහතික නොකර මැතිවරණය පැවැත්වීමේ තේරුමක් නොමැති බවයි.
මේ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා ලබා දී ඇති කාලසීමාව සැප්තැම්බර් 17 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසිනි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකක විසින් මෙම කාරක සභාවේ කාලය දිගු කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මතු කළ අතර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙන ලදී.



