දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවීම ආරම්භ කොට තිබේ.
මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් සහ සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අරමුණ වන්නේ , මැතිවරණ සම්බන්ධයෙන් වන නීති, විශේෂයෙන්ම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එම පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම, මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති (පළාත් සභා ඡන්ද විමසීම හැර) සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීමයි.
එම කාරක සභාවේ දී සලකා බැලීම සඳහා අදාළ විෂයපථය යටතේ අදහස්/ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට / ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ට සහ සංවිධානවලට අවස්ථාව ලැබෙන අතර, එම අදහස්/ යෝජනා 2026 ජූලි මස 15 දිනට ප්‍රථම පහත ලිපිනයට හෝ legis_com@parliament.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
ලිපිනය:
කාරක සභාවේ ලේකම්
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ



