ණයක් වෙනුවෙන් ඇපකරුවෙකු වන පුද්ගලයෙකු ගිවිසුම් ප්‍රකාශිත ආකාරයට කටයුතු නොකරන්නේ නම් ප්‍රධාන ණය ගැතියාට එරෙහිව පළමු ක්‍රියාමාර්ගයක් ගැනීමකින් තොරව ඇපකරුට එරෙහිව සෘජුවම නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බැංකුවට නීත්‍යනුකූල අයිතියක් ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ, ඩී.එෆ්.සී.සී. බැංකුවෙන් ලබාගත් ණය පහසුකමක් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන ඇපකරු වගකිව යුතු බවට වාණිජ මහාධිකරණය මගින් ලබා දී තිබෙන නියෝගය වළක්වාලන ලෙස ඉල්ලමින් ප්‍රධාන ඇපකරුවෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී ඇත්තේ, එම සිද්ධියට අදාළව වාණිජ මහාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කරමින්ය.
ප්‍රධාන ණය ගැතියා හා ණය පහසුකම්වල එකම ප්‍රතිලාභියා වන සමාගම ඇපකරු ලෙස ඔහුට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පෙර නඩුවේ පාර්ශ්වකරුවෙකු බවට පත්කර පළමුව නඩු පැවරිය යුතු බව විත්තියේ නීතිඥවරු කළ තර්ක කිරීමේ අවධානයට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තීන්දු කර ඇත.
රෝම ලන්දේසි නීතිය යටතේ ප්‍රධාන ණය ගැතියාට පළමුව නඩු පැවරිය යුතු බවට අවධාරණය කිරීමට ඇපකරුවෙකුට සාමාන්‍යයෙන් අයිතියක් ඇතත් එවැනි අයිතියක් ගිවිසුමක් හරහා ප්‍රකාශිත නම් එය අත්හැරිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම නඩුවෙදී අදාළ ඇපකරු තමන්ට ලබා දුන් ඇපකර ලේඛනවල අන්තර්ගතය පිළිබඳව තමන් නොදන්නා බවත් හිස් කඩදාසිවලට අස්සන් කර ඇති බවත් විත්තිකරු කළ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ලේඛනවල අස්සන් කරන පුද්ගලයා නූගත් අන්ධ හෝ ගනුදෙනුවේ ස්වභාවය තේරුම් ගැනීමට වෙනත් ආකාරයකින් අසමත් වුවහොත් මිස එවැනි ආරක්ෂාවක් සාර්ථක විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.



