2026 වසර සඳහා නිකුත් කරන ලද ලෝක සතුට පිළිබඳ දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව ලොව අවම සතුටින් පසුවන රටවල් අතරට ශ්‍රේණිගත වී තිබේ. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම (Wellbeing) පර්යේෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ මෙම නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත්තේ 134 වැනි ස්ථානයයි.
පසුගිය 2025 වසරේදී මෙම දර්ශකයේ 133 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙවර එක් ස්ථානයක් පහළට ගොස් තිබීම විශේෂත්වයකි. මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 4.0 කි. ආසියානු කලාපය සැලකීමේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් පසුවන එකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.
ලොව සතුටින්ම සිටින රටවල්
මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය අඛණ්ඩව දිනා ගැනීමට ෆින්ලන්තය සමත්ව ඇති අතර, පළමු ස්ථාන පහ අතරට අයිස්ලන්තය, ඩෙන්මාර්කය, කොස්ටාරිකාව සහ ස්වීඩනය යන රටවල් ඇතුළත් වේ. මීට අමතරව ලොව සතුටින්ම පසුවන රටවල් 15 අතරට පහත රටවල් ඇතුළත් වී තිබේ,
නෝර්වේ
නෙදර්ලන්තය
ඊශ්‍රායලය
ලක්සම්බර්ග්
ස්විට්සර්ලන්තය
නවසීලන්තය
මෙක්සිකෝව
අයර්ලන්තය
බෙල්ජියම
ඕස්ට්‍රේලියාව
ජනතාවගේ ආර්ථික ස්ථාවරත්වය, සමාජ සහයෝගීතාවය සහ මානසික යහපැවැත්ම වැනි සාධක ගණනාවක් පදනම් කරගනිමින් මෙම වාර්ෂික සමීක්ෂණය සිදු කරනු ලබයි.



