Homeදේශීයහදුන්වා දුන් PSTA කෙටුම්පත වහා හකුලාගනු.

හදුන්වා දුන් PSTA කෙටුම්පත වහා හකුලාගනු.

මේ වනවිට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම සහ මානව වර්ගයාට එරෙහි ත්‍රස්තවාදයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම රජයක ප්‍රමුඛ වගකීමක් බව දිනන දකුණ සාමුහිකය විසින් පිළිගන්නා බව පළමු කොටම අවධාරණය කරනු කැමැත්තෙමු. නමුත් ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වාදීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි විරහිතව දිනන දකුණ සාමුහිකය විසින් සිය විරෝධය පළකර සිටින බව අවධාරණය කරමු. එනයින් අනුර කුමාර ජනාධිපතිවරයා ගේ රජය විසින් ඉදිරිපත් කර ඇති කෙටුම්පතට අප සංවිධානය විසින් විරෝධය පළකර සිටින අතර එසේ විරෝධය පළකරන්නේ මෙම නිවේදනය මගින් පහතින් සඳහන් කරන සවිස්තරාත්මක හේතු පාදක කොට ගෙන බවද අවධාරණය කරමු.
1979 සිට මේ දක්වා ත්‍රස්තවාදයට එරෙහිව විවිධ ආණ්ඩු යටතේ හඳුන්වා දුන් සහ හඳුන්වාදීමට උත්සහදරන ලද PTA, CTA, ATA සහ නව PSTA යන සියලුම නීති තුළ “ත්‍රස්තවාදය” යන වරද නිර්වචනය කර ඇති ආකාරය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ පූර්විකාවේ සඳහන් මූලික හරය නොතකා හැරීමක් ලෙස පෙනී යන බව අවධාරණය කරනු කැමැත්තෙමු. එම ප්‍රඥප්තිය පැහැදිලිව අවධාරණය කරන්නේ, මිනිසා නීතියට ගරු කිරීම හෙවත් නීතියේ ආධිපත්‍ය පිළිගැනීම (Rule of law) සිදු කරන්නේ නීතිය විසින් මිනිසාගේ මූලික අයිතිවාසිකම් (Fundamental Rights) කෙතරම් දුරට ආරක්ෂා කරන්නේද යන්න මත පදනම්ව බවයි. එම අර්ථයෙන් බලන විට, නව PSTA පනත නීතියේ ආධිපත්‍යය සහමූලික අයිතිවාසිකම් අතර සමබරතාවයක් (Balance between Rule of Law and the Fundamental Rights) ගොඩනගන නීතියක් ලෙස නොව, දඬුවමට ඇති බිය මත පුරවැසියාව පාලනය කරමින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට උත්සාහ කරන මර්ධනකාරී නීතිමය ව්‍යුහයක් (Draconian Structure of Law) ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව අප සංවිධානය වෙත පෙනී යන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමු.


1979 දී බ්‍රිතාන්‍ය ආකෘතිය අනුකරණය කර හඳුන්වාදුන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) පනත සහ වත්මන් ජවිපෙ ආණ්ඩුව යටතේ යෝජනා කරන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) පනත අතර නීති විද්‍යාත්මක වශයෙන් (Jurisprudence point of view) මූලික වෙනසක් නොමැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඉතිහාසය තුළ PTA යටතේ දැඩි ලෙස පීඩාවට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන රජයක් යටතේ එවැනිම පටු මර්ධනකාරී පනතක් හඳුන්වාදීමට උත්සාහ කිරීම, නීතිමය හා දේශපාලනික වශයෙන් දෛවෝපගත විරෝධාභාසයක් (Paradox) ලෙස පෙනී යයි.
ජාතික ජනබලවේග රජය විසින් ගෙන ඇති මෙම නීතිමය ප්‍රවේශය තුළින් ශක්තිමත් කරන්නේ පුද්ගල නිදහස කේන්ද්‍ර කරගත් නීතියක් නොව, රාජ්‍යවාදය (statism) සහ එහි උපරිම ප්‍රකාශනයක් බව කිව යුතුව ඇත. ශිෂ්ඨසම්පන්න සමාජයක අපරාධ යුක්තියේ මූලික අංග ලෙස සැලකෙන්නේ චුදිතයකුට නිර්දෝෂී බවේ පූර්ව නිගමනය, සාධාරණ චෝදනාවක්, සාධාරණ නඩු විභාගයක්, සහ වරදට අනුපාත වූ දඩුවමක් (Presumption of Innocence, The right to due process, including a fair charge, a fair trial, and the imposition of punishment proportionate to the offence) ලබාගැනීමේ අයිතියය. නමුත් ජාතික ජනබලවේග රජය විසින් ඉදිරිපත් කර ඇති PSTA යටතේ “ත්‍රස්ත ක්‍රියාව” යන්න අර්ථ දක්වන්නේ ස්වාධීන රාජ්‍යයට (State) එරෙහි ක්‍රියාවන්ට වඩා, දේශපාලනික රජයට (Political Government) එරෙහි ක්‍රියා ලෙස විස්තෘතව භාවිතා කළ හැකි ආකාරයකිනි.


තවද, වරදක් ස්ථාපනය වීම පිළිබඳ තීරණය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සාධාරණ විග්‍රහයකින් පසු සිදුවන ස්වාධීන ක්‍රියාවලියක් නොව, විධායකය නියෝජනය කරන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පොලිසිය ඉදිරිපත් කරන කරුණු මත පදනම්ව ගනු ලබන තීරණයක් බවට මෙම පනත් කෙටුම්පත මගින් දක්වා ඇත. එය බලතල වෙන්කිරීමේ (Separation of Powers) මූලධර්මයටම පටහැනිය. නඩු විභාගය ආරම්භ වන්නේ නිර්දෝෂී බවේ පුරව නිගමනය (Presumption of Innocence) මත නොව, චුදිතයා වරදකරු බවට පූර්වනිගමනය කරගෙන, වරෙන්තු රහිත සෝදිසි, බැංකු හා ඩිජිටල් දත්ත, සහ පොලිස් අභිමතයෙන් රැස් කළ හැකි වරද සනාථ කරන සාක්ෂි (incriminating evidence) මත පදනම්වය. එම තත්ත්වය තුළ චුදිතයකුට සාධාරණ නඩු විභාගයක් ලැබේද යන්න බරපතල ප්‍රශ්නයක් දිනන දකුණ සාමුහිකය විසින් අවධාරණය කරමු.
නීතියේ පිළිගත් මූලධර්මයක් වන්නේ වරදකරුවන් සිය ගණනක් නිදහස් වීම වඩාත් සුදුසු වුවත්, එක් නිවැරදි මිනිසකු නීතිය මගින් දඩුවම් ලැබීම බරපතල අසාධාරණයක් බවයි. එම මූලධර්මය අනුව බලන විට, ජාතික ජන බලවේග රජයේ PSTA යටතේ නිවැරදි පුද්ගලයන් දහස් ගණනක් චුදිතයන් බවට පත් වී වරදකරුවන් වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය. එබැවින්, 21වන සියවසේ ත්‍රස්තවාදය පිටුදැකීමට 20 වන සියවසේ මර්ධනකාරී නීති ආකෘති භාවිතා කිරීම ප්‍රභල විසඳුමක් නොවන බව අප සංවිධානය වන දිනන දකුණ සාමුහිකය විසින් දැඩිව අවධාරණය කර සිටිමු.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත ඉවත් කරගෙන මෙයට ඇතුළත් කලයුතු සංශෝධන පිළිබඳව පුළුල් මහජන කතිකාවක් ආරම්භ කරන ලෙසත් ඒ අනුව පුරවැසි දෘෂ්ටිකෝණය අනුව පෙනෙන ඉහත කී දුර්වලතා මඟහරින නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකර සිටිමු.
දිනන දකුණ සාමුහිකය

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments