ශ්‍රීලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීම පිණිස සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women’s Federation – ACWF) විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43) ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී . ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා උපකරණ මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා රටපුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනද මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ මිත්‍රත්වය පිළිබඳව මෙහිදී සිහිපත් කළ චීන තානාපති චී ෂෙන්හොං මහතා සමස්ත චීන කාන්තා සම්මේලනයේ මෙම පරිත්‍යාගය කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීම කෙරෙහි චීනයේ කැපවීම පිළිබිඹු කරන බව අවධාරණය කළේය.
2023 සහ 2024 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව චීන රජය විසින් මෙරට පාසල් නිල ඇඳුම් සඳහා සහාය වීමට සහ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි කටයුතුවලට අනුග්‍රහය ලබා දීම සඳහා එකඟතාවය පළ කොට තිබිණි.



