අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බඳවා ගැනීම් සහ අරමුදල් භාවිතය පාලනය කරන්නේ ‘දූෂණ විරෝධී පනත’ ද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත’ ද යන්න පිළිබඳව කථානායකවරයා කළ ඉල්ලීමකට අනුව නීතිපතිවරයා තීරණයක් ලබා දී තිබේ. ඒ අනුව, සියලුම රාජ්‍ය මූල්‍ය ගනුදෙනු සඳහා ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත’ අනුගමනය කළ යුතු බවට නීතිපති පාරින්ද රණසිංහ කථානායක ජගත් වික්‍රමරත්න වෙත සිය මතය දැනුම් දී ඇත.
නීති දෙක අතර පවතින පරස්පරතා හේතුවෙන් තම බලතල ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් කථානායකවරයාට දැනුම් දීමෙන් පසු,කථානායකවරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබිණි.
නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය මූල්‍ය සඳහා පාර්ලිමේන්තුව වගකිව යුතු බැවින්, මහජන අරමුදල් භාවිත කරන සියලුම රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතන භාණ්ඩාගාරය යටතේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අනුගමනය කළ යුතු බවයි. එසේම, සියලුම බඳවා ගැනීම් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හරහා සිදු කළ යුතු බවද නීතිපතිවරයා අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසමට ඇතැම් තනතුරු සඳහා බඳවා ගැනීම් තනිවම සිදු කිරීමට සහ කොමිසමේ බලතලවලට යටත්ව ඇතැම් අරමුදල් වියදම් කිරීමට හැකියාව ඇති බවට නීතිපතිවරයා අදහස් කර ඇත. නමුත්, එම වියදම් තවමත් අයවැය යෝජනාවලට යටත් විය යුතුය යන කොන්දේසියක් පවතී.
අල්ලස් කොමිසම පවසන්නේ දූෂණ විරෝධී පනත අර්ථ නිරූපණය යටතේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර එහි අයවැය තීරණය කිරීමටත්, කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් කොමිසමට බලය ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම් සහ වැටුප් අමාත්‍යාංශය හරහා සිදු කළ යුතු බවයි. මෙම මතභේදය හේතුවෙන් කොමිසමට සිය සම්පූර්ණ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නොහැකි වී ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසා ඇත.



