Homeදේශීයබදු ශක්තිය

බදු ශක්තිය

ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්” යන තේමාව යටතේ ‘බදු ශක්ති’ නමින් ජූනි 02 සිට ජූනි 08 වැනිදා දක්වා ජාතික බදු සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙය බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනකි. බදු අනුකූලතාවය යනු බදු ගෙවීමට බදු ගෙවන්නාගේ ඇති සූදානමයි. බදු පදනම යනු රටක බදු ගෙවිය යුතු ආයතන හා පුද්ගලයින් ප්‍රමාණයයි. මේ කියන කාරණා දෙක ගැනම අප බොහෝ කලක සිට කතා කර තිබේ. බදු අනුකූලතාවය වර්ධනය කිරීමට නම් ජනතා බදු මුදල් වංචාවට හා දූෂණයට යට වන්නට නොදී මහජනයා වෙනුවෙන් නිසි පරිදි යෙදවිය යුතු වේ. පසුගිය ආණ්ඩු පාලන සමයන්හි මේ ආදර්ශය රජය පැත්තෙන් නිසි පරිදි දැකගත නොහැකි වූ අතරම පොදුවේ ආණ්ඩුවට, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට බොහෝ වංචා හා දූෂණ චෝදනා එල්ල වූ බවද රහසක් නොවේ. මේ ගැන රටට බොහෝ තොරතුරු පසුගිය කාලයේ අනාවරණය වී තිබේ. එහෙත් ඒවාට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමක් ද සිදුව නැත. මේ පසුබිම තුළ තට්ටු මාරු ක්‍රමයට කවර ආණ්ඩුවක් බලයට පත් වුවත් ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා (හොරු) රකිමින් සිටින බවටද බොහෝ මහජනයා තුළ මතයක් තහවුරු වීමට මේ තත්ත්වය හේතුවක් වී තිබිණි. මේ තත්ත්වය බදු අනුකූලතාව වර්ධනයට බලවත් බාධාවක් වන බව රහසක් නොවේ. ජනතා බදු මුදල් හොරා කනවා නම් අපි මොකට ද ආණ්ඩුවට බදු ගෙවන්නේ යන ප්‍රශ්නාර්ථය බොහෝ දෙනෙක් තුළ ඇතිවීම ද ස්වාභාවිකය. මේ නිසා වංචා හා දූෂණ සියයට සියයක්ම පිටුදැකීම අපහසු විය හැකි වුවත්, බදු අනුකූලතාව වර්ධනය කිරීම සඳහා ජනතාව සහ ව්‍යාපාර ප්‍රජාව තුළ පොදුවේ බදු ගෙවීම ගැන යහපත් ආකල්පයක් ඇති විය යුතු අතර ඒ සඳහා මහජන බදු මුදල් හොරා කන්නේ නැති බවට සහ ඒවා නිසි ලෙස භාවිතා කරන බවට වන සහතිකය මහජනයාට ලැබිය යුතු වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments