සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
ඒ, වහල (පියසි ) මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල අඩුකිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් ය.
ඔවුන් චෝදනා කළේ මෙම යෝජනාව හරහා එම සමාගම්වලට දැඩි බලපෑමක් සිදුවන බවය.
වහල මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
එම කැබිනට් පත්‍රිකාවට අනුව සෝලා පද්ධති හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට මෙතෙක් ගෙවන ලද රුපියල් 27ක මුදල රුපියල් 19 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.
මීට අමතරව කිලෝවොට් 20 – 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් මෙන්ම කිලෝවොට් 100 – 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක් ලෙස ගාස්තු සංශෝධනය වියයුතු බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.
අදාළ යෝජනාව මගින් සෝලා පද්ධති අලෙවි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවන බව ඔවුන් පවසයි. නොමිලේ ලැබෙන ජල විදුලිය, සුළං බලයෙන් සහ සූර්ය බලයෙන් ලැබෙන විදුලිය කප්පාදු කළ විදුලිබල මණ්ඩලය තෙල් සහ ගල් අඟුරු මාෆියාවට
යට වීම හේතුවෙන් මේ වන විට කෝටි 14,000ක මුදලක් රටට අහිමි කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක පවසයි.
එමෙන් ම මාලිමා මන්ත්‍රීවරු 159 දෙනාගේ වැටුප අවුරුදු පහට ම රජයට ලබා දුන්නත් ඒ ඉතුරු වෙන මුදල වගේ තුන් ගුණයක් පසුගිය පෙබරවාරි 9 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ Blackout එකෙන් (වඳුරකු පැනිම නිසා යැයි කියන) රටට අහිමි වු බවද චම්පික රණවක කියා සිටියි.
හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක එබව කියා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා අපේක්ෂක කණ්ඩායමේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජනහමුවකදීය. කිලෝවොට් 500 සිට මෙගාවොට් එක දක්වා සමාගම්වලට විදුලි ඒකකයකට ගෙවන මුදල සියයට එකක් හෝ දෙකක් අඩු කළ ආණ්ඩුව සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ගෙවිම් සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කර ඒකකයක ගෙවීම රුපියල් 19 ක් දක්වා අඩුකර ඇති බව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව වහළය මත ‘සෝලා’ පද්ධතිවල විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදල් ගෙවූ බවත් එම ගෙවීමත් සමඟ ජනතාව තුළ වහළය මත ‘සෝලා’ පද්ධති සවිකිරීමේ දැඩි උනන්දුවක් ඇතිවූ බවත් ඔහු කීය.
ජනතාව බැංකු ණයක් ගෙන හෝ තමන් ඉතිරිකරගත් මුදල් යොදා කිලෝවොට් 20 දක්වා ‘සෝලා’ සවිකළ බව කී ඉන්දික අනුරුද්ධ, එම පද්ධතිය සවිකර උනන්දුව වසර හතර පහක් ගතවූ පසු පවුලේ ආර්ථිකයට සහයෝගයක් වන්නේ යැයි ජනතාව බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.
කුඩා සූර්ය බලගාර වහළය මත ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන් මෙරට විදේශ විනියම එසේත් නැත්නම් ඩොලර් ඉතිරිකරගැනීම පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වූ බවත් කාංචන විජේසේකර 2022 වසරේ විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව 2024 වන විට මොගාවොට් හාරපන්සියක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ ගිය බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කීය. වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් සඳහන් කළේය.
‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පැවසීය.
‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.