Homeදේශීයජගත් අබේනායකට BASL පිළිතුරු දෙයි.

ජගත් අබේනායකට BASL පිළිතුරු දෙයි.

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය අතරතුර, වත්මන් අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිඥ ජගත් අබේනායක යොමුකළ ලිපියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිතුරු ලබා දී තිබේ.

අගෝස්තු 11 වැනි දාතමින් යුතුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යොමුකළ ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, එම ලිපිය පිළිබඳව විධායක සභාවට නිල වශයෙන් සලකා බැලීමට ප්‍රථමයෙන් එය සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබීම ගැන කනගාටුව පළකරන බවයි. එමෙන්ම මෙම කරුණ සාකච්ඡා කිරීමට තිබූ විධායක සභා රැස්වීමට නීතිඥ අබේනායක සහභාගී වී නොතිබූ බව ද නීතිඥ සංගමය සඳහන් කරයි.

මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කරළියට පැමිණියේ වත්මන් අගවිනිසුරුවරයා 2026 දෙසැම්බර් 01 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටින පසුබිමක බව නීතිඥ සංගමය පෙන්වාදෙයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අගවිනිසුරුවරුන් දෙදෙනකු ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හයදෙනකු විශ්‍රාම ගියද, එම අවස්ථාවලදී ඔවුන්ගේ ධුර කාලයන් දීර්ඝ කිරීමට මෙවැනි යෝජනා ඉදිරිපත් නොවූ බව ද එහි සඳහන් වේ.

එබැවින් මෙම සංශෝධනය හරහා වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ඉඩකඩ සැලසෙන බවට මහජනතාව අතර සැකසංකා මතුවීම වැළැක්විය නොහැකි බවත්, මෙම සංශෝධනය අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම ද එම මතභේදයන්ට හේතු වූ බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.

කෙසේවෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජනතාවට වැදගත් කරුණක් සම්බන්ධයෙන් මහජනතාව, නීතිඥවරුන් හෝ විචාරකයන් අදහස් දැක්වීම වැළැක්විය නොහැකි වුවද, කිසිදු විනිසුරුවරයකුට එරෙහිව සිදුකෙරෙන ද්වේෂසහගත, අපහාසාත්මක හෝ අසාධාරණ පෞද්ගලික ප්‍රහාර නීතිඥ සංගමය අනුමත නොකරන බව අවධාරණය කර සිටියි.

ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් කෙරෙන සාධාරණ විවේචන සහ අධිකරණයේ විනිසුරුවරුන් ඉලක්ක කරගනිමින් කෙරෙන පෞද්ගලික ප්‍රහාර අතර පැහැදිලි වෙනසක් පවතින බව ද සංගමය පෙන්වාදෙයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට නීතිඥ සංගමය විරුද්ධ වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, ව්‍යවස්ථාපිත ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය සුරැකීමේ පදනම මත පිහිටා බව නීතිඥ සංගමය නැවතත් අවධාරණය කළේය. මෙවැනි සංශෝධනයන් ඉතා සැලකිලිමත්ව, පාරදෘශ්‍ය ලෙස සහ ආයතනික සහභාගීත්වයෙන් යුතුව සිදුවිය යුතු බවත්, කිසිදු පුද්ගලයකු ඉලක්ක කරගෙන සිදුකරන බවට සැක පහළ නොවන පරිදි සිදුකළ යුතු බවත් පෙන්වා දී තිබේ.

ජාතික ජන බලවේග රජයේ හිතවතකු මෙන්ම රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු වන ජගත් අබේනායකට, නීතිඥ සංගමයේ ස්ථාපිත ආයතනික ක්‍රියාවලිය හරහා මෙම කරුණු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි විධායක සභා සහ සංගමයේ රැස්වීම්වලදී මේ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් දන්වා ඇත. එමෙන්ම දේශපාලන සබඳතා නීතිඥ සංගමයේ කටයුතුවලට හෝ වගකීම් ඉටුකිරීමට බාධාවක් නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments