මෙරට ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කරක සභාවේදී අවධාරණය කෙරිණි.
පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාවේදී රටේ ඉඩම් ක්ෂේත්රයට අදාළ ආයතනව කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය.
රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බවත්, GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් ඉඩම් වංචා අවම කිරීමට හැකි වන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ඉඩම් පරිපාලන ක්ෂේත්රයේ අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වා දීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්රයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කළේය.
එමෙන්ම, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක් ද මෙහිදී සලකා බැලූ අතර, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.



