HomeදේශීයSLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026

SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා පැවැත් වුණා.

ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය මෙවර දෙවන අදියර ලෙස පැවැත්වෙන අතර, දෙරටේ මාධ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ වෙනස්වන මාධ්‍ය පරිසරය පිළිබඳ නව අදහස් හා අවබෝධයන් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙම අවස්ථාව සමඟින් එක්ව සිටියා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා – ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ දෙරටේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් අතර දැනුම, අත්දැකීම් සහ වෘත්තීය සබඳතා ශක්තිමත් කරන වැදගත් වේදිකාවක් නිර්මාණය කර ඇති බවයි.

“වෙනස්වන ලෝකයක අදාළත්වය රැකගැනීම” යන මෙවර මාධ්‍ය සම්මන්ත්‍රණයේ තේමාව වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන යථාර්ථය මැනවින් නිරූපණය කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු වැළදගැනීමේ රටාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, වර්තමානයේ ප්‍රේක්ෂකයන් පුවත් ලබාගන්නා පාර්ශ්වයක් පමණක් නොව ඒවා විමර්ශනය කරන, සත්‍යාපනය කරන සහ ඇතැම් අවස්ථාවලදී පුවත් නිර්මාණයට දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බවත් පවසා සිටියා.

කෙසේ වෙතත්, මෙම සියලු වෙනස්කම් මධ්‍යයේ ජනතාව තවමත් මාධ්‍යයෙන් අපේක්ෂා කරනුයේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව අවධාරණය කළ අමාත්‍යවරයා වැරදි තොරතුරු සහ නොමඟ යවන තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා පැතිර යන වත්මන් පසුබිම තුළ වෘත්තීය මාධ්‍යකරණයේ වගකීම තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, එම නිසා මාධ්‍ය ආයතනවල ප්‍රධානතම වත්කම වන්නේ විශ්වසනීයත්වය බවත් සඳහන්කර සිටියා.

“වෙනස්වන ලෝකයක අදාළත්වය රැක ගැනීම” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන්, විද්වතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙන්ම මාධ්‍ය අධ්‍යයනයේ නිරත සිසු සිසුවියන් රැසක් සහභාගී වී සිටියා.

වෙනස්වන මාධ්‍ය පරිසරය, නව තාක්ෂණික ප්‍රවණතා සහ අනාගත මාධ්‍යයේ දිශානතිය පිළිබඳව පුළුල් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙහිදී අවස්ථාව සැලසිණු අතර කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, ප්‍රේක්ෂක හැසිරීම්වල වෙනස්කම්, මාධ්‍ය විශ්වසනීයත්වය, සත්‍ය තොරතුරු තහවුරු කිරීම සහ අනාගත මාධ්‍ය භාවිතය පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී පුළුල්ව සංවාදයට ගෙන තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රය තාක්ෂණික පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙවන් අවධියක, නිවැරදිභාවය, ස්වාධීනත්වය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නව අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments