විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.
තමා වෙත පැවරී තිබු රාජකාරි කටයුතු නිමාවී ඇති බැවින් ජනවාරි 15 දින සිට එසේ ඉල්ලා අස්වන බව ඔහු විෂය බාර අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් කිහිපයක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ තීරණාත්මක කඩඉමකට පැමිණ තිබියදී, එහි නියමුවා ලෙස කටයුතු කළ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, විෂය බාර ඇමතිවරයා සමග පවතින අභ්‍යන්තර ගැටුමක ප්‍රතිපලයක් බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබියදීත් ඔහු ගත් මෙම තීරණය පිටුපස බලශක්ති අමාත්‍යවරයාගේ සහ වත්මන් පාලනාධිකාරියේ සැකකටයුතු හැසිරීම් පවතින බව ද අනාවරණය වේ.
පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඔහුට පැවරුණු තාක්ෂණික හා සැලසුම් සහගත කොටස (ලංවිම වෙනුවට එන අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීම සහ වත්කම් පැවරීමේ සැලසුම්) ඔහු අවසන් කර ඇත. දැන් ඉතිරිව ඇත්තේ අමාත්‍යවරයා විසින් “නියමිත දිනය” (Appointed Date) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පමණි.
නමුත් අමාත්‍යවරයා එම ගැසට් නිවේදනය නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට චෝදනා එල්ල වේ. මෙම ප්‍රමාදය නිසා සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අඩපණ වී ඇති අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයාට තවදුරටත් එම ධුරයේ රැඳී සිටීම ඵලක් නොමැති තත්ත්වයක් උදා වී ඇත.



