Homeදේශීයකච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ඓතිහාසික කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 2026 වසරේ වාර්ෂික මංගල්‍යය එළැඹෙන පෙබරවාරි මස 27 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම කච්චතිව් ශාන්ත අන්තෝනි මංගල්‍යය ශ්‍රී ලාංකික සහ ඉන්දීය බැතිමතුන් සහභාගී වන මහා මංගල්‍යයක් ලෙස පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහය දුන් නාවික හමුදාව සහ අදාළ දෙපාර්තමේන්තුවලට මෙහිදී ඒ මහතා සිය ස්තූතිය පළ කර සිටියා.

පසුගිය වසරේ බැතිමතුන් 9,000ක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කළද, ඉන්දියාවෙන් පැමිණි බැතිමතුන් 4,364 දෙනෙකු ද ඇතුළුව බැතිමතුන් 7,464 දෙනෙකු ඊට සහභාගී වූ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

කච්චතිව් දූපත ජනාවාස නොමැති දූපතක් බැවින්, මෙවර මංගල්‍යය සියලු පහසුකම් සහිතව පසුගිය වසරට වඩා හොඳින් හා පූජනීය අයුරින් සංවිධානය විය යුතු බවත්, පසුගිය වසරේ යම් අඩුපාඩු තිබුණේ නම් ඒවා මෙවර වැඩි අවධානයක් යොමු කර නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව, ඔවුන් සඳහා නවාතැන් පහසුකම්, කූඩාරම්, ආහාර පහසුකම්, ආරක්ෂාව, සෞඛ්‍ය අවශ්‍යතා, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජල අවශ්‍යතා, ආලෝකකරණ සහ ශබ්ද විකාශන පහසුකම්, මුහුදු සහ ගොඩබිම් ප්‍රවාහන විධිවිධාන, පුද්ගලික බෝට්ටු ගාස්තු නිර්ණය කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් 4000ක් සහ ඉන්දියාවෙන් බැතිමතුන් 4000ක් ලෙස බැතිමතුන් 8000ක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම කුරිකට්ටුවාන් සිට කච්චතිව් දක්වා බෝට්ටු සේවාව සඳහා එක් ගමන් වාරයකට රුපියල් 1200.00ක් ද, නෙදුන්තීව් සිට කච්චතිව් දක්වා එක් ගමන් වාරයකට රුපියල් 1000.00ක් ද අය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කුරිකට්ටුවාන් සිට පුද්ගලික බෝට්ටු 46ක් සේවයේ යෙදවීමට ද මෙහිදී තීරණය කර ඇත.

ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පුද්ගලික අංශයේ බස් රථ යොදා ගැනීමටත්, 27 වනදා අලුයම 4.00 සිට පස්වරු 01.00 දක්වා යාපනය බස් නැවතුම්පොළෙන් බස් රථ ධාවනය කිරීමටත් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබුණා.

28 වනදා උදෑසන ආහාරය බැතිමතුන්ට නොමිලේ ලබා දීමට නියමිත බව ද සඳහන් වනවා.

නාවික හමුදාවේ සංවිධානයෙන් කච්චතිව් දූපතේ ගිලන්රථ බෝට්ටුවක් ද, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සංවිධානයෙන් කුරිකට්ටුවාන්හි ගිලන්රථ 2ක් ද සූදානමින් තැබීමට මෙහිදී තීරණය ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට යාපනය රදගුරු වසමේ අනුනායක ගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී නාගරාජන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments