ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපිය වැරදීමකින් නිකුත් කළ ලිපියක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
එම ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව පවසමින් ඔහු සඳහන් කළේ, මෙම මුලපිරීම අවලංගු කරන ලෙසට අදාළ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කළ බව සුජීව සේනසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුම මගින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
එහිදී ලිපිය පිළිබඳ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, මෙම සිදුවීමෙන් පාර්ලිමේන්තුවට, ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට සහ මහජනතාවට සිදුවූ ඕනෑම අපහසුතාවයක් සම්බන්ධයෙන්, ඔහු කනගාටුව පළ කොට සමාව ඉල්ලා සිටින බවයි.
සංගමයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සුජීව සේනසිංහ ඉකුත් සැප්තැම්බර් 4 වැනි දා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙම ලිපිය යොමු කර තිබුණා.
පසුව එදින නිකුත් කළ පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණා.
“ප්‍රමාද දෝෂයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලoකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත. සිදු වූ අත් වැරදීමට මාගේ දැඩ් කනගාටුව ප්‍රකාශ කරමි”