Homeදේශීයවිශ්වාසභංගය ගැන කතානායකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය

විශ්වාසභංගය ගැන කතානායකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාස භංග යෝජනාව නොගැලපෙන බවත් නිසි පරිදි පිළිවෙලකට එය සකස් කර නොමැති බවත් සඳහන් කළ කතානායකවරයා අදාළ විශ්වාස භංග යෝජනාව පිළිගත නොහැකි බවද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ ස්ථාපිත පාර්ලිමේන්තු භාවිතයන් සහ පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව සම්බන්ධයෙන් මැනවින් අධ්‍යයනය කළ  බවත් එක්සත් රාජධානියේ මන්ත්‍රී මණ්ඩලය, ඉන්දියාවේ ලෝක් සභාව සහ ඕස්ට්‍රේලියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇතුළු අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායකයන්හි භාවිතයන් ද මෙම තීන්දුව ලබාදීමට පෙර අධ්‍යයනය කළ බවද කතානායකවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 43 සහ 44 වගන්ති යටතේ අමාත්‍ය වගකීම පැවරෙන්නේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නොව කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් බවද කථානායකවරයා අවධාරණය කළේය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් 32 දෙනෙකු විසින් 2025 අගෝස්තු 12 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාව, සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රජයට, අගමැතිට සහ තනි කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා සඳහා ඉඩ ලබා දී ඇතත්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව එවැනි යෝජනා සඳහා විධිවිධාන නොමැති බවයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අතර සභාවට සෘජු ව්‍යවස්ථාමය වගකීමක් නොදරන අතර එවැනි යෝජනාවක් පිළිගැනීම, ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු සම්මතයන්ට පටහැනි “අනවශ්‍ය පූර්වාදර්ශයක්” බවද කතානායකවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙසේද පැවසීය.

2025.08.19 වන දින මා විසින් කරන ලද නිවේදනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම නිවේදනය කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව 2025.08.12 වන දින ඉදිරිපත් කරන ලද ‘විශ්වාසභංග යෝජනාව’ නම් යෝජනාව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන්නට කැමතියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ ස්ථාපිත පාර්ලිමේන්තු භාවිතයන් සහ පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව මම හොඳින් සලකා බැලුවෙමි.

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පොදු මන්ත්‍රී මණ්ඩලය, ඉන්දියාවේ ලෝක් සභාව සහ ඕස්ට්‍රේලියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වැනි අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනයන්හි අනුගමනය කරන සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටි ද මම අධ්‍යයනය කළෙමි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 43 සහ 44 වගන්ති යටතේ, සාමූහික සහ තනි අමාත්‍ය වගකීම අමාත්‍ය මණ්ඩලයට පැවරේ. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අතර වර්තමාන සන්දර්භය තුළ මෙම සභාවට සෘජු ව්‍යවස්ථාමය වගකීමක් දරන්නේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම පිළිගන්නේ විශ්වාසභංග යෝජනා සමස්තයක් ලෙස රජයට එරෙහිව ගෙන ඒමට හැකි බවත්, පූර්වාදර්ශය අගමැතිට හෝ තනි කැබිනට් අමාත්‍යවරයෙකුට සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා පිළිගනී. නමුත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එවැනි යෝජනාවක් සඳහා විධිවිධාන නොමැත.
එබැවින්, අද එවැනි යෝජනාවක් පිළිගැනීමට සිදුවුවහොත්, එය ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු පූර්වාදර්ශයන්ට පටහැනිව අනවශ්‍ය පූර්වාදර්ශයක් ස්ථාපිත කරනු ඇත.

ඒ අනුව, මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එහි වර්තමාන ස්වරූපයෙන් පිළිගත නොහැකි බවත් මම මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments