ශ්‍රී ලංකා දුම්රිය සේවයට ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙම තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබුවා.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධික විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මෙම දැනුම් දීම සිදු කළා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.
එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ද නීතිඥවරිය ඉල්ලා සිටියා.
ඒ අනුව, පෙත්සම යළිත් ඔක්තෝබර් මස 30 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේ ජූලි 11 වන දා යි.