ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා කර තිබෙන බවට “ඩේලිමිරර්” පුවත්පත වාර්තා කරනවා.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2024 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවක සඳහන් වන ආකාරයට පුද්ගලයන් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන අඩම්තේට්ටම්, ප්රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි සඳහන් වන්නේ.
ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වාර්තා කරන ලද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ මරණ හතක් පිළිබඳව එම වාර්තාවේ දැක්වෙනවා.
2022 ‘අරගලයෙන්’ පසු පැවැති මැතිවරණවලින් විශිෂ්ඨ ලෙස බලයට පත් වත්මන් රජය, සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග පමණක් බවද වාර්තාවේ සඳහන් වනවා.
පාපොච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පැමිණවීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් ආදිය සම්බන්ධයෙන් පමණක් නොව, කම්කරු අයිතිවාසිකම් සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකිරීම පිළිබඳ චෝදනා, යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පවතින මන්දගාමී ප්‍රගතිය, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් වනවා.
අන්තර්ජාල ආරක්ෂණ පනතද විරෝධතා මර්දනය කිරීමට යොදාගැනීමට ඉඩ ඇති බවටද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර තිබෙනවා.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව, තවත් රටවල් කීපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අඩංගු වනවා.



