හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.
ඇය එම තොරතුරු ඉදිරිපත් කළේ, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළාය.
“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ, 2012.05.23 දින. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත.”
මෙහිදී අදාළ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා ය.
“ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘතියක් ලෙසයි, ඒක ආයෝජනය කරල තියෙන්නෙ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme SHST පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.”