Homeදේශීයසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10,000ක් පොලිස් සේවයටපොලිස් නිලධාරිනියන් 1000ක් බඳවා ගැනේ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10,000ක් පොලිස් සේවයටපොලිස් නිලධාරිනියන් 1000ක් බඳවා ගැනේ

ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් ඉන් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා පැවසීය. මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් මේ වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඒ මහතා‍ගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ සභභාගීත්වයෙන් පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා මේ බව සඳහන් කළේය.

දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඔවුනට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන අතර පොලිස් නිලධාරිනියන් 1000ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා පැවසීය. තවද ලබන වසරේ පොලිස් සේව‍ය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‍විවිධ අකටයුතුකම් හා සම්බන්ධ බවට වාර්තා වන පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ සිදු නොවන බවට චෝදනා එල්ල වන පොලිස් ස්ථාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒවා සම්බන්ධ විශේෂ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. විශේෂ වැටලීම් සඳහා වලාන දූෂණ මර්දන ඒකකය වැනි තවත් දූෂණ මර්දන ඒකක කිහිපයක් පිහිටවීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. එසේම 1997 අංකයට ඔනෑම කෙනෙකුට නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු, නීති විරෝධි ධීවර ආම්පන්න භාවිතය, නීති විරෝධි ක්‍රියා පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දෙන්නන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමේ අවශ්‍යතාව ආදි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments