Homeදේශීයප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට.

ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට.

කෙහෙල් බද්දර පද්මේ ලෙස පෙනී සිටිමින් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට සහ අවසානයේ තමන්ටම සැලසුම් සහගතව වෙනත් පුද්ගලයෙක් ලවා තර්ජනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය.
අත් අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තමන්ට අසනීප බව කියමින් මේ වනවිට රාගම රෝහලට ඇතුළත් වී ඇති අතර පොලිස් අත් අඩංගුවේ හිඳිමින් ඔහු ප්‍රතිකාර ගනිමින් හිඳී.

පොලිසියේ සිටි කීර්තිමත් පොලිස් නිලධාරියෙක් ලෙස නමක් දිනාගෙන සිටි ප්‍රියන්ත ජයකොඩි මේ ආකාරයේ සූපිං කටයුත්තක් සඳහා මැදිහත් වන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය ජූලි 06 වැනිදා ලලිත් පතිනායක, ටිරාන් අලස් සහ ප්‍රියන්ත ජයකොඩි ඉලක්ක කරගෙන මේ තර්ජනය කිරීම සිදුවන අවස්ථාවේ දීම පොලිසියට මේ ක්‍රියාවලිය පිළිබඳ සැක පහළ වී තිබිණි.

බොහෝ පාතාල ප්‍රබලයින් ආරක්ෂක අංශවෙත සහ හිටපු හෝ ඉන්නා දේශපාලන ප්‍රබලයින් වෙත තර්ජන එල්ල කිරීම ප්‍රමාණය ඉක්මවා යෑමක් බව දන්නා බැවින් එවැනි ප්‍රවේශයන් වෙත එළඹීමට කටයුතු කරන්නේ නැති බව පොලිසියේ අත් දැකීම විය.

ඒ තත්ත්වයක් තුළ කෙහෙල් බද්දර පද්මේට කිසිසේත් අදාලත් නැති, ඔහු සමග සම්බන්ධයක් තිබුණේත් නැති මාකඳුරේ මධුෂ් ඝාතනය වැනි සිද්ධිවල පළි ගන්නා බව කියමින් අදාලත්වයක් නැති නිලධාරීන්ට තර්ජනය කිරීම පසුපස ඇත්තේ කුමන අරමුණක්දැයි සමීපව නිරීක්ෂණය කරන බවත් විමර්ශන කීවේය.

ඒ අනුව මෙම ඇමතුම් පැමිණි දුරකථන අංක පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ දී එම දුරකථන අංක ඩුබායි රාජ්‍යයේ අංකයක් බවත් එය ඇප් එකක් ආධාරයෙන් යොදාගෙන භාවිතා කර ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

ඔහු මෙම තර්ජන එල්ල කරවා තිබුණේ තුන්වැනි පුද්ගලයෙකුගේ මාර්ගයෙනි. මේ වනවිට සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments