ජාතික ෂූරා සභාවේ (NSC) නියෝජිත පිරිසක් පසුගියදා කොළඹදී,ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සංවාදයක නිරත වී තිබේ.
ඊට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වී සාලි, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් ඇතුළුව සියලුම ආණ්ඩු පක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරු සහභාගී වූහ.
ජාතික ෂුරා සභාවේ සභාපති ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිසට ජාතික ෂුරා සභාවේ විධායක කමිටු සාමාජිකයින් දස දෙනෙකු ඇතුළත් විය. සංවාදයක යෙදීමට අවස්ථාව ලැබීම ගැන ඔවුන් කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් වර්තමාන සමාජ – දේශපාලනික වාතාවරණය තුළ මුස්ලිම් ප්‍රජාවේ ගැටළු සහ අභිලාෂයන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. මානව හිමිකම්, නීති සම්පාදන ප්‍රතිසංස්කරණ සහ සුළුතර අවශ්‍යතා ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රධාන ජාතික ගැටළු කිහිපයක් මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.
රටේ ප්‍රධාන තීරණ ගැනීමේ ආයතනය ලෙස ක්‍රියා කරන ජාතික කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නොමැතිකම පිළිබඳව මුස්ලිම් ප්‍රජාව තුළ ඇති ගැඹුරු කනස්සල්ල නියෝජිත පිරිස විසින් ඉස්මතු කරන ලදී. මෙම නොසලකා හැරීම ප්‍රජාව තුළ බරපතල හා විවේචනාත්මක සාකච්ඡාවකට භාජනය වී ඇති බව ඔවුන් සඳහන් කළ අතර, පුළුල් පාලනයක් තුළින් එයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කළහ. ජාතික ෂූරා සභාවේ නියෝජිත පිරිස තවත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ද ඉස්මතු කළහ.
තවද, ජාතික සමගිය සහ භෞමික අඛණ්ඩතාව සඳහා මුස්ලිම් ප්‍රජාවගේ නොසැලෙන කැපවීම ජාතික ෂුරා සභාවේ නියෝජිත පිරිස නැවත තහවුරු කළ අතර, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් කිසි විටෙකත් අන්තවාදී, බෙදුම්වාදී හෝ භේදකාරී ව්‍යාපාර වලට සහාය දී නොමැති බවත්, නමුත් මුස්ලිම් විරෝධී වාර්ගික ගැටුම්වලට නිරන්තරයන් ගොදුරු වී ඇති බවත් අවධාරණය කළහ. පසුගිය වාර්ගික ගැටුම් සහ අවතැන්වීම් හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්ලිම්වරුන් දිගු කලක් තිස්සේ විඳින දුක් වේදනා කෙරෙහි ද ඔවුන් අවධානය යොමු කළ අතර, අඛණ්ඩ අවධානය සහ පිළියම් අවශ්‍යතාවය අවධාරණය කළහ.
සහයෝගීතාවය හා ජාතික සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කරමින්, මුස්ලිම් ප්‍රජාව තුළ ප්‍රධාන කොටස් සහ සංවිධාන සමඟ පුළුල් සංවාදයකට පහසුකම් සැලසීමට සභාව කැමැත්ත පළ කළේය. මෙම මුලපිරීම රටේ ප්‍රගතියට අර්ථවත් ලෙස දායක වන අතරම ප්‍රජාවට බලපාන විශේෂිත ගැටළු විසඳීම සඳහා ද කටයුතු කිරීම අරමුණු කරයි.