Homeදේශීයපාර්ලිමේන්තුවේ විශේෂ වරප්‍රසාද ගැන විශේෂ තීරණ කිහිපයක්

පාර්ලිමේන්තුවේ විශේෂ වරප්‍රසාද ගැන විශේෂ තීරණ කිහිපයක්

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයකුට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන සැපයුණු අතර මින් ඉදිරියට මහලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1200ක් දක්වා වූ දුර ප්‍රමාණයකට සරිලන මාසික ඉන්ධන කෝටාවක් සපයනු ලබනවා.

මින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

සහකාර මහ ලේකම්වරයාට අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට වෙන් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරයාට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණයි.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මාසිකව කිලෝමීටර් නවසීයක් දක්වා ඉන්ධන සැපයුණු අතර ඔවුන්ගේ ඉන්ධන කෝටාවද අඩු කෙරුණු ඇති.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් වාහන සහ ඉන්ධන අසීමිතව පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීමෙන් පසු වාහන සහ ඉන්ධන ප්‍රමාණ මෙසේ සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ලබා ගනු ලැබුවා.

මේ අතර පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කථානායකවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව ජාතික විගණන කාර්යාලය විසින්ද ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වනු ලබනවා.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙකු තම දරුවා නැගෙනහිර විශ්ව විද්‍යාලයකට යැවීම සඳහාද පාර්ලිමේන්තුවේ වාහනයක් පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණය වුණා.

එමෙන්ම තවත් නිලධාරිනියක් අනුරාධපුරයේ නක්ෂත්‍රවේදනියක හමුවීමටද පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන පාවිච්චි කර තිබූ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments