‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’නමින් පොතක් රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කතෘ නිමල් අබේසිංහ මහතා විසින් රචනා කොට එළි දක්වන ලදී.
ඒ පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදීය.
මෙම කෘතිය රචනා කිරීමට පාදක වී ඇත්තේ පසුගිය කාලවකවානුවේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවූ ජාතිවාදය පදනම් කොටගත් ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙනි.
මෙම කෘතිය දොරට වැඩීමේ අවස්ථාවේදී සමාරම්භක දේශනය සිදු කළේ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ ආචාර්ය දියකඩුවේ සෝමානන්ද හිමියන් විසිනි. උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය කාලයේ පූජ්‍ය පක්‍ෂයේ ඇතැම් පිරිස් ද මෙම ජාතිවාදී අදහස් ඇවිස්සවීමට කටයුතු කළ බවයි. තවදුරටත් ජාතිවාදී අදහස් මහජනතාව තුළින් තුරන් කිරීමට සාහිත්‍ය හා කලාව ඉතා ප්‍රබල කාර්යභාරයක් සිදු කරන බවට මෙම පොත කදිම උදාහරණයක් බව උන්වහන්සේ පැවසූහ.
ජාතිවාදය පැරද්ද වීමේදී අධ්‍යාපනය කොතරම් වැදගත් වන්නේද යන්නෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා වසන්ති දිසානායක මහත්මිය සිය දේශනය පැවැත්වූවාය. මෙම කාලවකවානුව තුළදීම වෛද්‍ය සාෆි මහතාටත් ඔහුගේ දරුවන්ටත් සිදු වූ මානසික පීඩාවන් සහ දරුවන්ගේ අධ්‍යාපනයට මෙම සිද්ධිය කොතරම් බලපෑවේ ද යන්න ඇය එහිදී සිහිපත් කළා ය. එමෙන්ම මෙම සිද්ධිය බොහෝ ජන මාධ්‍ය කිසිදු අවබෝධයකින් තොරව සමාජගත කළ බවත්, එමඟින් ගම්‍ය වෙන්නේ දේශපාලන විකිණීම්වලට ජන මාධ්‍ය, මාධ්‍යවේදීන් සහ විවිධ වෘත්තිකයන් ගොදුරක් වී ඇති බවයි. එයට මෙම වෛද්‍ය සාෆි ශාෆි වෛද්‍යවරයාගේ සිද්ධිය ඊට මනා උදාහරණයක් බව ඇය පෙන්වා දුන්නා ය. අවසාන වශයෙන් ඇය කියා සිටියේ අපි රටක් වශයෙන් මුළු ශ්‍රී ලාංකිකයන්ම වෛද්‍ය සාෆි මහතාගේ පවුලෙන් සමාව ගතයුතු බවයි.
ඉන් පසුව අදහස් දැක්වූ ඇන්ටන් චාර්ල්ස් තෝමස් පියතුමන් පෙන්වා දුන්නේ ලංකාව තුළ ප්‍රබල ලෙස ආගමික ත්‍රස්තවාදය ඉස්මතු වී ඇති බවත් එයට මෙම වෛද්‍ය සාෆි මහතාගේ සිද්ධිය සාක්ෂි දරන බවයි. බොහෝ දෙනා බුද්ධාගම ආගමක් ලෙස පිළිගත්තද බුද්ධාගම යනු දර්ශනයක් බවත් ඔහු තවදුරටත් කිය සිටියේ ය. එබැවින් බුද්ධාගම ආගමක් නොවී දර්ශනයක් වීමම ලංකාවට ආශිර්වාදයක් බවත් එතුමා සිය අදහස් තුළින් ඉස්මතු කළේය.
මෙහිදී වෛද්‍ය සාෆි මහතා ද මෙම අඳුරු කාලපරිච්ඡේදයේ තම මතකයන් අන් අය සමඟ බෙදා හදා ගත්තේය. ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුට සිදුවූ සෑම සිදුවීමකම ධනාත්මක පැතිකඩ පමණක් ඔවුගේ ජිවිතයට ලගා කර ගත් බවයි. මෙම ග්‍රන්ථයද එම සිදුවීමේ තවත් එක ධනාත්මක පැතිකඩක් බව ඔහු පෙන්වා දුන්නේය. අවසාන වශයෙන් තමන්ට සිදුවූ හානියට වගකිවයුත්තන් නීතිමය වශයෙන් සහ ස්වභාවධර්මයෙන් දඬුවම් ලබා දුන් ආකාරය පිළිබඳව මෙහි දෙවනි ග්‍රන්ථය ලෙස එළිදැක්වීය යුතු බව ප්‍රකාශ කර සිටි අතර නැවතත් මෙවැනි සිද්ධීන් සිදු නොවෙන්නට ඉඩක් හැරිය යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.
මෙම පොත එළි දැක්වීමෙන් පසු බොහෝ දෙනෙක් ඒ පිළිබඳව මුහුණු පොතේ සටහන් තබා තිබුණි.මේ එවැනි ආකාරයට මුහුණු පොතේ පල වී තිබූ එක් සටහනකි.
“දොස්තර ෂාෆි පහුගිය දාක අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වුණාට ජනතා අධිකරණයෙන් ඩොක්ටර් ෂාෆි නිදහස් කළේ නිමල් අබේසිංහ. ඒ, මේ පොත එළිදැක්වීමෙන්. ඔහු මාධ්‍යවේදියෙක්. රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කතෘ. මේ පොත කරන්න සමහර විට නිමල්ට රාවයේ මාධ්‍ය සංස්කෘතියත් බලපාන්න ඇති. ඔහු ෂාෆිගෙ කතාව පිළිබඳව කළ විමර්ශනාත්මක ග්‍රන්ථයක්. ඔහුගෙ කාර්ය භාරය නිසයි ෂාෆිට නියම නිදහස අද ලැබුණා කියලා මම කියන්නෙ.
වඳ සැත්කම් ගැන පුවත් පළකරමින් ජනතාව කුලප්පු කළේ වගකීමක්, නිරවද්‍යතාවක් නැති අපේම මාධ්‍ය වලින්. මම හිතන්නේ අපේම කණ්ඩායම් අතින් වූ වැරැද්දක් මාධ්‍යවේදියෙක් විදියට නිමල් නිවැරදි කළා.පටු දේශපාලන අරමුණු හඳුනාගන්න මේක තරම් හොඳ උදාහරණයක් මෑතක අපට හමුවෙන්නෙ නෑ. “ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය” හැමෝම කියවිය යුතු පොතක්.