අමෙරිකාව විසින් අලුතෙන් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදුවලින් ගෝලීය ආර්ථිකයට ඇති විය හැකි අවදානම් පැහැදිලි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා කනස්සල්ල පළ කළ කර තිබේ.
ලොව පුරා මන්දගාමී ආර්ථික වර්ධනයක් පවතින අවස්ථාවක අමෙරිකාව ගත් මෙම පියවරින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ IMF දැනට තක්සේරු කරමින් සිටින බව ජෝර්ජිවා අවධාරණය කළාය.
“ප්‍රකාශිත තීරුබදු පියවර පැහැදිලිවම ගෝලීයව සැලකිය යුතු අවදානමක් ඇති කරයි,” ජෝර්ජිවා පැවසුවාය. “ලෝක ආර්ථිකයට තවදුරටත් හානි කළ හැකි පියවර වළක්වා ගැනීම වැදගත්. වෙළඳ ආතතීන් විසඳීමට සහ අවිනිශ්චිතතාවය අඩු කිරීමට ඵලදායී ලෙස කටයුතු කරන ලෙස අපි අමෙරිකාවට සහ එහි වෙළඳ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”
මෙම මස අගදී IMF සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර ප්‍රකාශයට පත්කිරීමට නියමිත ඉදිරි ලෝක ආර්ථික දැක්මේදී IMF සිය තක්සේරුවේ ප්‍රතිඵල නිකුත් කරන බව ද ජෝර්ජිවා සඳහන් කළාය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ විශාලතම වෙළඳ හවුල්කරුවන් කිහිප දෙනෙකු සඳහා පුළුල් තීරුබදු ප්‍රකාශයට පත්කළ අතර ශ්‍රී ලංකාවට ද 44%ක බදු පැනවීමක් සිදුකර ඇත.
රටවල් 25කට 20% සිට 40% දක්වා පරාසයක ඒ ඒ රටවලට අනන්‍ය තීරුබදුවලට අමතරව සියලුම ආනයනික විදේශීය භාණ්ඩ සඳහා 10% ක විශ්වීය තීරුබදුවක් පනවන බව ට්‍රම්ප් පැවසීය.
10% තීරුබදු අප්‍රේල් 5 වන දින සිට ක්‍රියාත්මක වන අතර අනන්‍ය තීරුබදු අප්‍රේල් 9 වන දින ආරම්භ වේ.
ධවල මන්දිරය පවසන පරිදි අනෙකුත් රටවල් අමෙරිකානු නිෂ්පාදන සඳහා අසාධාරණ ලෙස පනවන තීරුබදු සමඟ ඇති පරතරය අඩු කිරීම සඳහා විදේශීය භාණ්ඩ සඳහා අමෙරිකාව බදු ඉහළ නැංවීමෙන් ට්‍රම්ප් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් සිටි.
ශ්‍රී ලංකාව ද අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති බදු සාමාන්‍යය 88%ක් බැවින් එහි අඩක් ලෙස 44%ක බද්දක් පැනවූ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.
2025 අප්‍රේල් 2 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ මෝටර් රථ කර්මාන්ත වෘත්තිකයන් පිරිසක් අමතමින් නවතම විධායක තීරණය පැහැදිලි කළේය.
ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ අනෙකුත් රටවල් එක්සත් ජනපදය සමඟ වෙළඳ ගනුදෙනුවලදී සැලකිය යුතු වාසි ලබා ගන්නා බවයි.
මෙම අසමතුලිතතාවය වහාම විසඳීම සඳහා, එක්සත් ජනපද ආර්ථිකය මෙම වෙළඳ සබඳතාවලින් වැඩි ප්‍රතිලාභ ලබා ගන්නා බව සහතික කිරීම සඳහා නව අන්‍යොනය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ඔහු නිවේදනය කළේය.