HomeදේශීයIMF කොන්දේසියක් සැපිරීමට රාජ්‍යය පාලනය,යුක්තිය සහ සිවිල් ආරක්‍ෂණය ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

IMF කොන්දේසියක් සැපිරීමට රාජ්‍යය පාලනය,යුක්තිය සහ සිවිල් ආරක්‍ෂණය ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය.

දසවැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා තේරී පත්විය. ඒ එම කාරක සභාව ප්‍රථම වරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) තුෂාරි ජයසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.

අනතුරුව, “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ” පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ගැණිනි. මේ සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පතිවරයා ද ඇතුළුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීහු ද සහභාගී වී සිටියහ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළ නිලධාරීහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දිගුකාලයක් පුරා පැවති අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව පෙන්වා දුන්හ. මෙමගින් අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම් සහ වත්කම් අයකර ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසෙන බව එම නිලධාරීහු වඩිදුරටත් කාරක සභාව හමුවේ කරුණු පැහැදිළි කළහ.

තවද, රාජසන්තක කරන ලද එවැනි වත්කම් කළමනාකරණය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම සඳහා විධිවිධාන එයට ඇතුළත් බවත්, අපරාධ ක්‍රියාවන් මගින් නීති විරෝධී ලෙස අත්පත් කරගත් රජයේ හෝ පෞද්ගලික වත්කම් අත්පත් කරගැනීමට, විමර්ශනය කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම පනත් කෙටුම්පත ඔස්සේ ක්‍රමවේදයක් සකස්වෙන බවද නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම මෙම පනත් කෙටුම්පත පුද්ගලයන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ඉලක්ක කරගත් පනතක් බවත් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

පනත ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි තාක්ෂණික දෝෂ මගහරවා ගැනීමට ගතහැකි පියවර පිළිබඳවද කමිටු සාමාජික මන්ත්‍රීවරු නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියහ. ඒ අනුව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ කළ පුළුල් සාකච්ඡා සහ අනෙකුත් රටවල ක්‍රියාත්මක කරන ලද සමාන නීති මත පදනම්ව මෙය සකස් කර ඇති බැවින් එවැනි ගැටලු ඇතිවිය හැකි සම්භාවිතාව අවම මට්ටමක පවතින බව නිලධාරීහු පිළිතුරු දෙමින් ප්‍රකාශ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වුවද, රජය මෙම පනත් කෙටුම්පත ඉතා ධනාත්මක ලෙස සළකන බවත්, රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති සැලැස්මට අනුකූල බැවින් මෙම පනත් කෙටුම්පත පිළිගන්නා බවත් සභාපතිවරයා පැවැසුවේය. එසේම මෙම පනත් කෙටුම්පත සකස්කිරීමට ගෙන ඇති උත්සාහයන් පිළිබඳව සිය සතුට පළ කළ සභාපතිවරයා මෙම පනත රටට ඉතාමත් අත්‍යවශ්‍ය පනත් කෙටුම්පතක් බැවින් රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ඊට ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments