Homeදේශීයප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථයක්.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථයක්.

ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” (World Recycling Day) සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රීරෝද රථයක් (Electronic Three-Wheeler – E-Tuk) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවම කරමින් තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් චක්‍රීය ආර්ථිකයක් කරා ගමන් කිරීමට අවශ්‍ය මං සැලසීම සහ ආයතනික පාරිසරික වගකීම වෙත ආයතන යොමු කිරීම යන අරමුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සිදුකරන තවත් එක් වැඩසටහනක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරියේ දී නෛතිකමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත “නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම” (Extended Producer Responsibility – EPR) යන වැඩපිළිවෙළ යටතේ ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවම කිරීම සඳහා ප්ලාස්ටික් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කරන සහ තම ව්‍යාපාර සඳහා ප්ලාස්ටික් ආශ්‍රිත කිසියම් හෝ නිෂ්පාදනයක් යොදාගන්නා ව්‍යවසායකයන් දැනුම්වත් කරමින් එම නිෂ්පාදන මගින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද වසර ගණනාවක සිට සිදුකරනු ලැබේ.එහි ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා අනුගත ප්ලාස්ටික් නිෂ්පාදන තම නිෂ්පාදන සඳහා භාවිත කරන ආයතනයක්,ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයක්, නව නිෂ්පාදන සිදුකරන ආයතනයක් සහ ද්‍රව්‍ය ප්‍රතිසාදන මධ්‍යස්ථානයක් එක්ව මෙම ඊ-ටුක් (E-Tuk) වැඩසටහන ක්‍රියාත්මක කරයි.මෙම වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ප්‍රථමයෙන් වාද්දූව ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රීරෝද රථය නිවෙස් සහ ආයතන වෙත ගොස් ඕනෑම ප්ලාස්ටික් අපද්‍රව්‍යක් එක් කිරීම සිදුකරන අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලබා දෙන්නන් සඳහා මුදලක් ද ගෙවනු ලැබේ. පසුව මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නියමිත පරිදි ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට කටයුතු කරයි.

මෙහි සමාරම්භක අවස්ථාව බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී සිදු විය.පරිසරය සුරැකීම සඳහා ආයතනික වශයෙන් ගත් කළ රජයේ ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන යන දෙපාර්ශවයම කටයුතු කළ යුතු බවත් විශේෂයෙන් නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන ක්‍රමවේදයට නිෂ්පාදකයින් අනුගතවීම මගින් අදාළ නිෂ්පාදනය මගින් පරිසරයට සිදුවන දූෂණය අවම කර ගත හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසීය. ඒ අනුව පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන මෙම පරිසර හිතකාමී වැඩසටහන අගය කළ යුතු බවත් මෙමගින් තිරසර කසළ කළමනාකරණය සහ චක්‍රීය ආර්ථිකය වෙත පිටිවහලක් සපයන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඇතුළු නිලධාරීහු ද, “කොකාකෝලා බෙවරේජර්’ස් ශ්‍රී ලංකා” (Coca-Cola Beverages Sri Lanka) ආයතනයේ අධ්‍යක්ෂ (තිරසර) තමරි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරීහූ ද, “එකෝ ස්පින්ඩ්ලස්” (Eco Spindles) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත මාලිම්බඩගේ මහතා ඇතුළු නිලධාරීහු ද, “වේගා ඉනොවේෂන්ස් සර්විසස් (Vega Innovations serves) ආයතනයේ ඉඳුනිල් පලිහවඩන මහතා ඇතුළු නිලධාරීහු සහ වාද්දූව, ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයෙහි (Material Recovery Facilities -MRFs) මංජුලා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments