මානව ගරුත්වය ආරක්ෂා කිරීම, බලය සීමා කිරීම සහ දේශපාලන මතභේද නොතකා ආරක්ෂා කළ යුතු මූලධර්ම ස්ථාපිත කිරීම තුළින් මානව හිමිකම් ඒ සඳහා පොදු පදනම සපයන බව පැවසූ ඔහු, මානව හිමිකම් දැඩි පරීක්ෂාවට ලක්ව ඇති මේ මොහොතේ එම මූලධර්ම ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නා ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
සන්නද්ධ ගැටුම්, ඉහළ යන අසමානතාවන්, වෙනස් කොට සැලකීම්, දේශපාලන ධ්රැවීකරණය, දේශගුණික විපර්යාස සහ කෘත්රිම බුද්ධිය (AI) වැනි වේගයෙන් පරිණාමය වන තාක්ෂණයන් හේතුවෙන් මුළු ලෝකයම දැවැන්ත කැලඹීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අනතුරු අඟවා තිබේ.
2026 නොවැම්බර් 13 වැනි දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (Inter-Parliamentary Union – IPU) ‘මානව හිමිකම් පිළිබඳ ගෝලීය පාර්ලිමේන්තු සමුළුව’ අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
මෙම ගෝලීය පීඩනයන් හේතුවෙන් ලොව පුරා ප්රජාතන්ත්රවාදයේ පසුබෑමක් සිදුව ඇති අතර, මානව හිමිකම් ආයතනවලට සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට එල්ල වන අභියෝග තවදුරටත් තීව්ර වී ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු නියෝජිතයින් මුහුණ දෙන වර්ධනය වන තර්ජන පිළිබඳවද මහ කොමසාරිස්වරයා මෙහිදී සිය දැඩි කනස්සල්ල පළ කළේය. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ දත්තවලට අනුව, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් අතිමහත් බහුතරයක් තමන්ට බියගැන්වීම් සහ හිරිහැර සිදුවන බවට වාර්තා කර ඇති අතර, විශේෂයෙන්ම කාන්තා සහ සුළුතර නියෝජිතයින් අන්තර්ජාලය හරහා ඉලක්ක කර ගනිමින් ප්රහාරයන්ට ලක්වන බව හෙළි වී තිබේ. මෙවැනි ප්රහාර මගින් ප්රජාතන්ත්රවාදී ආයතන දුර්වල වන අතර යහපාලනයට බාධා එල්ල වන බවද ඔහු පෙන්වා දුන්නේය.



