ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් සේවය කල ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න, ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල මෙක්සිකෝ නගරයේ පැවති (UNAM–IPSA RC08) ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
“දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු: අභියෝග සහ පරිවර්තනයන්” (Parliaments in the Global South: Challenges and Transformations) යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම මෙම ජාත්‍යන්තර වැඩමුළුවට රටවල් 36ක් නියෝජනය කරමින් විද්වතුන් සහ පර්යේෂකයන් 100කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුන් සහ පාර්ලිමේන්තු පර්යේෂකයන් සමඟ සිය පර්යේෂණය ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ (IPSA) ආරාධනය මත ලතින් ඇමරිකාවේ විශාලතම විශ්වවිද්‍යාල අතරින් එකක් වන මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ (UNAM) පැවති මෙම වැඩමුළුවට චමින්ද කුලරත්න සහභාගී වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයකු වශයෙනි.



