රජයකට මිනිසෙකුගේ ජීවිතය ඉතාමත් නරක තත්ත්වයකට ඇද දැමීමට හැකි ආකාරයේ අසීමිත බලයක් තිබෙන බව නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසනවා.
ඔහු සඳහන් කළේ තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය අතරතුර රජය, පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ සුබවාදී ආකල්පයක සිටි බවයි.
නමුත් ඒ ආයතන කෙරෙහි දැක්වූ යහපත් ආකල්පය 2020 වර්ෂයේ අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගත් දිනයේ සිට වෙනස් වූ බව නීතිඥවරයා කියා සිටියා.
හිජාස් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ට පැවසුවේ ප්‍රකාශයක් ලබා දී නැවත සිය නිවසට යා හැකි බවත් නමුත් සිදුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම බවයි.
නැවත මෙවැනි සිද්ධීන් රට තුළ ඇතිනොවීමට නම් රාජ්‍ය පරිපාලන, රාජ්‍ය තාන්ත්‍රික යන ක්ෂේත්‍ර තුළ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට පසුබිම සකසන්නා වූ කරුණු හඳුනාගෙන ඒවා ඉවත් කළ යුතු බව ඔහු සඳහන් කළා.
නීතිඥවරයා පවසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින් අහෝසි කිරීමට කටයුතු කරන නමුදු එම පනත ඉවත් කර ඉන් පසුව ගෙනෙන්න යන පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අතිශය භයානක බවයි.
ඒ නිසා සියල්ලෝම ඊට විරුද්ධ විය යුතු බව හිජාස් හිස්බුල්ලා මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ රාජ්‍ය ආරක්ෂාව යටතේ යම් යම් රාජ්‍ය ආයතන මඟින් සිදුකරන ඇතැම් දේ විධිමත්ව අධීක්ෂණය විය යුතු බවත් එමෙන්ම ආගම භාවිත කරමින් සිදුකරන දේශපාලනය සම්බන්ධයෙන් විචක්ෂණශීලීව විමසා බැලිය යුතු බවයි.
තවදුරටත් අදහස් දක්වමින් හිජාස් හිස්බුල්ලා මහතා අවධාරණය කළේ මෙලෙස විචක්ෂණශීලීව කටයුතු කළහොත් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර නැවතත් ලංකාව තුළ සිදුනොවීමට කටයුතු කළ හැකි බවයි.



