රටේ යුක්තිය, සාමය සහ සංහිඳියාව කෙරෙහි ඍජුවම බලපාන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2026 අගෝස්තු 18 සිට 20 දක්වා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ පූර්ණ සැසිවාරයේදී සිදුවූ සාකච්ඡාවලට අනුව, සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන්ගේ අත්සනින් යුතුවයි මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත්තේ.
සමාජය තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය මෑතකදී ගත් ඇතැම් පියවර රදගුරු හිමිවරුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
එසේම වර්තමානයේ සිදුවන මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම් නිසා ඇතිවන පාරිසරික උපද්‍රවයන් පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු අතර, විනාශකාරී සංවර්ධන සැලසුම්වලින් මුතුරාජවෙල ආරක්ෂා කරගැනීමට වහා පියවර ගතයුතු බව රදගුරු සමුළුව අවධාරණය කරනවා.
මන්නාරමේ දැනට ස්ථාපිත කර ඇති සුළං විදුලි බලාගාර 14ට අමතරව, පොරොන්දු වූ පරිදි එවැනි බලාගාර තවදුරටත් පුළුල් නොකිරීමට ගත් තීරණය පිළිබඳව එම නිවේදනයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
එමෙන්ම තේ වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගැනීම පිළිබඳව රදගුරු සමුළුව රජයට ස්තූතිය පළ කර ඇති අතර, පසුගිය වසරේ දී ජනාධිපතිවරයා හමුවේ එම සමුළුව විසින් ද මෙම දීර්ඝ කාලීන අවශ්‍යතාව ඉදිරිපත් කර තිබූ බවත්, රටේ ආර්ථිකයට මහත් මෙහෙයක් ඉටුකරන මෙම ජනතාව වෙනුවෙන් එම තීරණය ගැනීම අගය කරන බවත්, සඳහන් කළා.
යාපනය අර්ධද්වීපයේ සමූහ මිනීවළවල් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාව ද රදගුරු සමුළුව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා සිදුකෙරෙන චෙම්මණි කැණීම් කටයුතු සම්පූර්ණ විය යුතු අතර, එමගින් අදාළ අපරාධ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරගැනීම සහ වගවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බවද සඳහන්.
එසේම, වසර 30කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අතරතුර සිදුවූ ත්‍රස්තවාදී හා සමූහ මිනිස් ඝාතන සහ ඊට පෙර යුගයන්හි අත්විඳින ලද ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳ සත්‍යය ද හෙළිදරව් විය යුතු බව සමුළුව පෙන්වා දෙනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ගෙවීම පිළිබඳ අධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද රදගුරු සමුළුව සිය අවධානය වැඩිදුරටත් යොමුකර සිටිනවා.



