පළාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ 10 වැනි රැස්වීම අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින් වර්ජනය කර තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය බැරෑරුම්භාවය සහ හදිසිභාවය තේරීම් කාරක සභාව විසින් පෙන්නුම් කිරීමට අසමත් වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්‍යන් රාසමාණික්කම් සහ නිසාම් කාරියප්පර් යන විපක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනා තේරීම් කාරක සභාවේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇත.
අද පැවති රැස්වීමේදී, විපක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් අදහස් දක්වමින් ෂානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා, රැස්වීම් දහයක් පැවැත්වී තිබුණද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, මෙවැනි ක්‍රියාවලියකට තවදුරටත් සහාය දිය නොහැකි බව තේරීම් කාරක සභාවට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ෂානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රායෝගික විසඳුම් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් දැනට පවතින සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳ පැහැදිලි යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනාව තුළ කාන්තාවන් සඳහා සියයට 25ක සහතික නියෝජනයක් ලබාදීමේ ක්‍රමවේදයක්ද ඇතුළත් වන බව එහි සඳහන්.
ඒ සමඟම තවත් නීතිමය විකල්පයක්ද පාර්ලිමේන්තුව ඉදිරියේ පවතින බවත් පෙන්වා දී තිබේ.
එනම් ෂානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ වන්නේ නම්, එම පනත් කෙටුම්පත ඉදිරියට ගෙන ගොස් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම සකස් කළ හැකිය.
ඒ අනුව, මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රායෝගික සහ නීතිමය විකල්ප දැනටමත් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බැවින් තවදුරටත් ක්‍රියාවලිය දිග්ගැස්සීම වෙනුවට දැන් අවශ්‍ය වන්නේ දේශපාලන තීරණයක් ගෙන මැතිවරණය පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම බව එහි සඳහන්.
ජාතික ජන බලවේගය සිය 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, බලයට පත්වීමෙන් වසරක් ඇතුළත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට පැහැදිලිවම පොරොන්දු වී තිබූ බවත් එම පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 128 වැනි පිටුවේ සඳහන් බවත් අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙයි.
පළාත් සභා වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව පවතින හෙයින් එමගින් තම නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි වී ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බවද එමඟින් අවධාරණය කරයි.
එබැවින්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පැහැදිලි කාල රාමුවක් සහිත ක්‍රියාමාර්ග රජය සහ තේරීම් කාරක සභාව විසින් වහාම ගත යුතු බවද අවධාරණය කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, තේරීම් කාරක සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බරපතළ දේශපාලන කැපවීමක් පෙන්නුම් කිරීමට අසමත් වන්නේ නම්, විපක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනාට ඉතා බරපතළ තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.



